ගුවන් හමුදා 70 වන සංවත්සරයට සියල්ල සුදානම්

පෙබ 19, 2021

    ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සර සැමරුම වෙනුවෙන් නිර්මාණය කර ඇති නිල ලාංඡනය එළිදක්වමින් ගුවන් හමුදාව සිය සංවත්සරය මාර්තු 2 වන දින සමරනු ඇති බව, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ සඳහන් කරයි.

    සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ අනුගමනය කරමින් මාර්තු 1 වන දින කැලණිය රජමහා විහාරයේ දී පිච්චා මල් පූජාව සමඟ සැමරුම ආරම්භ වේ.

    ගුවන් හමුදා සම්ප්‍රදායන්ට ගරු කරමින් අනෙකුත් සැමරුම් උත්සව මාර්තු 02 දින පවත්වන ආචාර පෙළපාලියෙන් පසු කටුනායක මූලික කඳවුරේදී පැවැත්වීමට නියමිත අතර, ඒ හා සමගාමීව අනෙකුත් සියලුම කඳවුරු වලද සංවත්සරය සැමරීම සඳහා කටයුතු යොදා ඇත.

    චාරිත්‍රානුකූල කටයුතු වලින් අනතුරුව, සංවත්සර දිනය සමරමින් විශේෂ සමරු දින මුද්දරයක් සහ කවරයක් ද නිකුත් කෙරේ.

    රට වෙනුවෙන් කරන ලද සුවිශේෂී සේවාවන් අගයමින්, අංක 5 ප්‍රහාරක බලඝණයට සහ අංක 6 හෙලිකොප්ටර් බලඝණයට මාර්තු 5 වන දින ජනාධිපති වර්ණ පිළිගැන්වීම කටුනායක මූලික කඳවුරේදී දී සිදු කෙරේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය - 2021 අඛණ්ඩව 22 වන වරටත් මාර්තු 07 වන දින පැවැත්වෙන අතර මාර්තු 20 - 21 සහ 26 - 27 යන දිනවල පැවැත්වෙන ගුවන් හමුදාපති රග්බි කුසලාන තරගාවලියත් සමඟම 70 වන සංවත්සර සැමරුම අවසන් වන බව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

    Latest News