සජිත්ගෙන් තම්මැන්නාවට “සඳළුගම”

ජන 28, 2019

    මනුෂ්‍යත්වය තුළ ඇති උදාරතම ගුණාංගය වනුයේ කෙළෙහිගුණ දැක්වීම හා ප්‍රතිඋපකාර කිරීම බවත්, තමන් ජනතා නියෝජිතයෙකු ලෙස පත්කර ගැනීමට කෙළෙහිගුණ දැක්වීම වස් රටේ උදා ගම්මාන 20,000 ක් ආරම්භ කර සැමට සෙවණ ලබා දෙන බවත් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට උදා ගම්මාන 2,500 ක් හා ඉන් පසුව පියවර 3 ක් යටතේ උදා ගම්මාන 17,500 ක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බවත්,මෙම උදා ගම්මාන 20,000 ඉලක්කය කරා යන්නේ කෙසේද? උදා ගම්මාන වැඩසටහන හොඳද ? නරකද ? යන වග රටේ ජනතාව විසින් තීරණය කළ යුතු බවත් ප්‍රකාශ කළේය.

    ‍සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, බඳගිරිය, තම්මැන්නාව ප්‍රදේශයේ ඉදිවූ “සඳළුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (27) දින සහභාගී වෙමින්.“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 160 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

    නිවාස 46 කින් සමන්විත “සඳළුගම” උදාගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 388 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

    “සඳළුගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 46 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 230 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 46 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 358 කට රුපියල් ලක්ෂ 716 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 25 කට රුපියල් ලක්ෂ 50 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ ශිල්පීන් 50 කට රුපියල් ලක්ෂ 25 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, ප්‍රාදේශීය කලාකරුවන් තිදෙනෙකුට රුපියල් 30,000 ක් වටිනා වෛද්‍ය ආධාර, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 105 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීම හා නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. මෙහිදී වකුගඩු වෛද්‍ය සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක්ද පැවැත්විණි. තංගල්ල බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යබට කණ්ඩායමේ නිළ ඇඳුම් සඳහා අමාත්‍යතුමන්ගේ පෞද්ගලික දන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 4 ක මුදලක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු කෙරිණි.

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 10:42

    Latest News