ලෝක සාමය වෙනුවෙන් දිවිපිදු විරුව‍නට ජනපති සංවේගය

ජන 27, 2019

    ජගත් සාම ක්‍රියාදාමයට එක්වූ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික පුත්‍රයන් දෙදෙනෙකු ජිවිත පරිත්‍යාග කළේ ජගත් මානව සංහතියේ නිදහස් අරමුණු සාක්‍ෂාත් කරදීම සඳහා බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

    ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කරනවා. ඒ පිළිබඳ පුවත ඇසූ මොහොතේ තමා තුළ මහත් කම්පාවක් ඇති වූ බවයි ජනාධිපතිතුමාගේ ශෝක පණිවුඩයේ දැක්වෙන්නේ.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් එච්.ඩබ්.ඩී.ජයවික්‍රම සහ කෝප්‍රල් එස්.එස්.විජේකුමාර එහිදී ජිවිත පරිත්‍යාග කර ඇති අතර, තවත් හමුදා සාමාජිකයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඔවුන්ගේ එම පරිත්‍යාගය ස්වකීය දේශය වෙනුවෙන් ප්‍රයෝජනවත් මෙහෙවරකට කැපවීමෙන් සිදුවූවක් බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ.

    මෙම උදාර ලංකා පුත්‍රයින් මානව ඉතිහාසයට එක්වන්නේ මාතෘ භූමියේ නිදහස හා සාමය වෙනුවෙන් අභීතව සටන්කර ඒ අභිමානයෙන් ජගත් සාම ක්‍රියාදාමයට එක්ව වීර භූමිකාවක නිරත වූ රණවිරුවන් ලෙස යැයි ද ජනාධිපතිතුමා කියා සිටී. එම රණවිරුවන්ගේ අභාවය පිළිබඳ ඔවුන්ගේ පවුල්වල සියලු සාමාජිකයන්ට සිය බලවත් සංවේගය පළ කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තුවාල ලබා ප්‍රතිකාර ලබන රණවිරුවන් තිදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටී.

    Last modified on ඉරිදා, 27 ජනවාරි 2019 20:26

    Latest News