සෑම දේශපාලන පක්‍ෂයක්ම ඒකීය රාජ්‍ය පිළිගැනීමක - අගමැති

ජන 27, 2019

    මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට සෑම දේශපාලන පක්‍ෂයක්ම ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගන්නා බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    කලුතර ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

    එහිදී අදහස් පළ කළ අගමැතිතුමා...“දැන් මොකක්ද කියන්න යන්නේ. අපි රට බෙදනවා කියලා කියනවා. අපිට රට බෙදන්න උවමනාවකුත් නැහැ. බෙදන්නෙත් නැහැ. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. බැහැයි දැනට ව්‍යවස්ථාවක් නැහැ. එක එක පක්ෂවල අදහස් තමයි තියෙන්නේ. ව්‍යවස්ථාව හදන එක මගේ අතේ නෙමෙයි තියෙන්නේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය වනවා ව්‍යවස්ථාවක් හදන්න. හැබැයි අපි සාකච්ජා කෙරුවා. සාකච්ජාවලින් ගොඩක් ප්‍රශ්න විසඳිලා තියෙනවා. ඉතිහාසයේ පළමුවැනි වතාවට ශ්‍රී ලංකාවේ තියෙන සෑම දේශපාලන පක්ෂයක්ම ඒකිය රාජ්‍ය සංකල්පය පිළි අරගෙන තියෙනවා. මේ අවස්ථාවේදි ව්‍යවස්ථාව හදන්න බැරි නම් පස්සේ හරි හදන්න පුලුවන්. හැබැයි එකක් තියෙනවා කියන්න ඒ ගොල්ලෝ ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගන්නවා. තව මොනවද ඒගොල්ලන් කියන්නේ. මොනවද කියන්නේ භෞමික අඛණ්ඩතාව පිළිගන්නවා. ඒක තමයි අපිටත් අවශ්‍යය. මොනවද අපිට තව අවශ්‍ය වෙන්නේ. ඒ අයට බනිනවද? නැත්නම් සියලු දෙනා සාකච්ජා කරලා අනාගතේ මේ ප්‍රශ්න විසඳගන්න ඉඩක් තියාගන්නවද? කාටවත් කරගන්න බැරිවෙච්ච දෙයක් අපි සියලු දෙනා එකතුවෙලා කරගත්තා. ඒකීය ලංකාවක් කියන එක තමයි අපේ ජයග්‍රහණය“ යැයි අගමැතිතුමා කියා සිටියේය.

    සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 474ක වියදමින් ඉදි කෙරුණු කලුතර දුම්රිය පොළ පාර වාණිජ සංකීර්ණය සහ ගබඩා වීදිය පොදු වෙළෙඳ පොළ අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    කලුතර ගබඩා වීදිය පොදු වෙළෙඳ පොළ රුපියල් මිලියන 186ක ආයෝජනයක්. මෙය කඩකාමර 158කින් සමන්විතයි. දුම්රිය පාර වාණිජ සංකීර්ණය සඳහා රුපියල් මිලියන 288ක් වැය කර ඇති අතර, එය කඩ කාමර 173කින් සමන්විතයි. අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය අජිත් පී පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් විජේමාන්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 13:05

    Latest News