කොළඹට තවත් රථගාලක ඉදිකිරීම අද ඉබ්බන්වලදී ඇරඹේ

පෙබ 10, 2021

    කොළඹ නගරයේ නිතර පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ඉදි කරමින් පවතින රථගාල් දොළහේ ව්‍යාපෘතියේ දෙවන රථගාල යූනියන් පෙදෙසේ ඉබ්බන්වල හන්දියේ දී ඉදිකිරීමේ කටයුතු හෙට (10) දින ඇරඹීමට නියමිතයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට රථවාහන තදබදයට පිළියම් යෙදීමට ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුව කොළඹ නගරයේ මෙන් ම දිවයින පුරා රථාවහන තදබදය පවතින ප්‍රධානන නගරවල නව රථගාල් ඉදිකිරීමට නියමිතයි.

    පෙ.ව. 09.00ට පැවැත්වෙන මෙම රථගාල ඉදිකිරීමේ අවස්ථාව නාගරික සංවර්ධන,වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

    යෝජිත රථගාල් 12 න් කොළඹ කොටුව සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල රථගාල් දෙකක ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඉබ්බන්වල හන්දියේ දී ඉදිකෙරෙන්නේ තුන්වැනි රථගාලයි.

    එකවර රථවාහන 310 ක් නවතා තැබිය හැකි ඉබ්බන්වල හන්දියේ ඉදිකෙරෙන මෙම රථගාලේ, වාහන නවතා තැබීමත් සමඟ ම දැනට එම ප්‍රදේශයේ පවතින වාහන තදබදය අවම වේ.

    මේ අනුව මරදාන පාර,ටී.බී. ජයා මාවත, ධර්මපාල මාවත,යූනියන් පෙදෙස,කිංසි පාර ඇතුළු සෙසු මාර්ගවල පවතින වාහන තදබදයට මෙමඟින් පිළියම් යෙදේ. මේ හේතුව මත කොළඹ මහ රෝහල් පරිශ්‍රය අවට ද වාහන තදබදයට විසඳුම් හිමිවේ.

    ඉබ්බන්වල හංදියේ ඉදිකෙරෙන රථගාල සඳහා මහල් 10 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතයි. නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව ඉදිවන නව රථගාලේ 80% ක් රථවාහන නැවැත්වීම සඳහා වෙන් කළ යුතුය. කාර්යාල සංකීර්ණ සහ සාප්පු සංකීර්ණ සඳහා ඉතිරි 20% වෙන්කෙරේ.

    මෙහි බිම් මහල, පළමු මහල සහ දෙවන මහල කාර්යාල සහ සාප්පු සංකීර්ණ සඳහා වෙන් කෙරේ. තෙවන මහලේ සිට දසවන මහල දක්වා වෙන් කළ යුත්තේ යෝජිත රථ ගාල ඉදි කිරීම සඳහායි.

    ඉබ්බන්වල හන්දියේ ඉදිකෙරෙන මෙම රථගාල ඉදිකිරීම සඳහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 605 කි.

    මෙම රථ ගාල සඳහා වෙන්කර ඇත්තේ ඉබ්බන්වල හන්දියේ පිහිටා තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමකින් පර්චස් 113 ක් වන අතර මෙම රථගාල වර්ග අඩි 31,000 කින් සමන්විත වේ.

    එම ප්‍රමාණයෙන් වර්ග අඩි 20,000 ක බිම් කොටසක් මත ඉදිවන මෙම ගොඩනැගිල්ල මහල් 10 භූමි ප්‍රමාණයේ එකතුව වර්ග අඩි ලක්ෂ දෙකකි. මෙයින් වර්ග අඩි 40,000 ක් කාර්යාල සංකීර්ණ සහ සාප්පු සංකීර්ණ සඳහාත්, වර්ග අඩි එක්ලක්ෂ හැටදහසක් රථගාල සඳහාත් වෙන් කිරීමට නියමිතය.

    මේ අනුව ඉදිවන රථගාල ප්‍රසිද්ධ මහජන රථගාලක් ලෙස භාවිතයට ගැනීම කළ යුතුය යන මූලික සහ ප්‍රධාන කොන්දේසි යටතේ එය අනිවාර්ය කර තිබේ.

    Latest News