ශ්‍රී ලාංකික භටයින්ට එල්ලවූ ප්‍රහාරය හෙළා දකී (වීඩියෝ)

ජන 26, 2019

    මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි දේශයේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාන්විතයේ නිරතව සිටි ශ්‍රී ලාංකික භටයන්ට එල්ල වූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා ප්‍රකාශ කරනවා.

    මියගිය ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙත තම ශෝකය පළ කරන බවයි මහලේකම්වරයා සඳහන් කළේ. මාලි දේශයට සාමය හා ස්ථාවර භාවය උදා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇති කැපවීම මෙවැනි බියගුලු ක්‍රියාවලින් වෙනස් කළ නොහැකි බවයි, ජගත් සංවිධාන මහලේකම්වරයා ප්‍රකාශ කරන්නේ.

    මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය ද ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් දෙදෙනෙකු මාලි රාජ්‍ය යේදී මියයාම ගැන දැඩි සංවේගය පළකර සිටිනවා. එමෙන්ම තුවාල ලැබූ ශ්‍රී ලාංකික භටයන් හය දෙනා ඉක්මණින් සුවය ලබනු ඇතැයි ද ආරක්‍ෂක මණ්ඩලය ප්‍රාර්ථනා කරනවා.

    ප්‍රහාරය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආරක්‍ෂක මණ්ඩලය මාලි රාජ්‍යයට දැනුම් දෙනවා. ප්‍රහාරයට වගකිවයුත්තන්ට අන්තර්ජාතික නීතිය යටතේ යුද අපරාධ චෝදනා ගොනු කළ හැකි බවයි ආරක්ෂක මණ්ඩලය පෙන්වා දෙන්නේ.

    එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ සාම සාධක භටයන්ට පහර දෙන පාර්ශ්වයන්ට එරෙහිව අන්තර්ජාතික යුද අපරාධ චෝදනා ගොනු කළ යුතු බවයි.

    Saman px 900 26 01 19

    ජීවිතක්‍ෂයට පත් යුද හමුදා කපිතාන්වරයාගේ හා කෝප්‍රල්වරයාගේ දේහයන් ඉදිරි සතිය ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාව පවසනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ක්‍රමවේදය අනුව, එම කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින බවයි, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටියේ.

    වැඩි දියුණු කරන ලද බෝම්බයක් පුපුරුවා හැරීමෙන් යුද හමුදා පාබල රෙජිමේන්තුවේ කපිතාන් දිනේෂ ජයවික්‍රම සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් සමන් විජේකුමාර යන අය ජිවිතක්‍ෂයට පත්වුණා. කපිතාන් දිනේෂ් ජයවික්‍රම මහතා පොළොන්නරුව පුලස්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 32 හැවිරිදි ඔහු, අධ්‍යාපනය ලබා ඇත්තේ, පොළොන්නරුව විජිත මහා විද්‍යාලයෙන්.

    කෝප්‍රල් සමන් විජේකුමාර මහතා පොල්පිතිගම රාවාඇළ ප්‍ර දේශයේ පදිංචිකරුවෙක්. බටහිර අප්‍රිකාවේ ගැටුම් සහිත රාජ්‍යයක් වන මාලිහි ඩවුන්ට්සා ප්‍රදේශයේ මුර සංචාරයේ නිරත රථ පෙළකට ප්‍රහාරය එල්ල වී තිබුණේ, එරට වේලාවෙන් ඊයේ උදේ 6.30ට පමණ. පිපිරීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු ගුවන් මගින් ගාඕ ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කෙරුණා. ඔවුන් ගමන්ගත් සන්නද්ධ රථයට හා ඊට පිටුපසින් ධාවනය වූ තවත් සන්නද්ධ රථයකට දැඩි හානි සිදුවී තිබෙනවා.

    Last modified on සෙනසුරාදා, 26 ජනවාරි 2019 21:11

    Latest News