කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරියට

පෙබ 01, 2021

    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන් සතු කරන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි.

    එය 100%ක්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව අග්‍රමාත්‍යවරයා පැවසීය.

    අද දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සහ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව සාකච්ඡාවක් පැවැත්වුණි.

    එහිදී අගමැතිවරයා කියා සිටියේ වත්මන් රජයේ ප්‍රධානම ප්‍රතිපත්තිය වන දේශිය සම්පත් අලෙවි නොකිරීම යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිඳු රටකට අලෙවි කිරීම හෝ පාලනයට නොදෙන බවයි.

    කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හා පාලනය විදේශ රටකට ලබා දීමට රජය කටයුතු කරන බව පවසමින් වෘත්තීය සමිති එකමුතුව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබිණ.

    අග්‍රාමාත්‍යවරයා ලබා දුන් තීන්දුවත් සමඟ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (02) දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව එකඟ විය.

    Latest News