ඊයේ (30) දිනයේ දී 32,539 දෙනකුට එන්නත් කෙරේ(වීඩියෝ)

ජන 31, 2021
  • ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රසෙනකා කොවිඩ් - 19 ප්‍රතිශක්තීකරණ එන්නත ඊයේ(30) දිනයේදී 32,539 දෙනකුට ලබාදුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

    ඒ අනුව, කොවිඩ් - 19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දී ඇති මෙරට මුළු ගණන 37,825 කි.

    මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ මුල් දිනයේ දී මුල් පෙළ සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 5,286 දෙනකුට එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ සමත් විය.

    බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රසෙනකා සමාගමේ කොවිඩ් - 19 එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය ද නිෂ්පාදනය කරන අතර, මෙරට ගෙන්වන ලද්දේ ඉන්දියාවේ නිෂ්පාදිත එන්නතය.

    ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් - 19 එන්නත එරට වැක්සීන්මෛත්‍රී වැඩසටහන යටතේ අසල්වැසි රටවලට නොමිලේ ලබා දේ.

    ඒ අනුව ඉකුත් දා ඉන්දියාව ප්‍රදානය කරන ලද කොවිඩ් - 19 එන්නත් මාත්‍රා ලක්ෂ පහක් මෙරටට ගෙන්වන ලදි.

    මේ අතර, චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ් - 19 එන්නතෙන්, මාත්‍රා ලක්ෂ තුනක් මෙරටට පරිත්‍යාග කරන බව චීනය ඉකුත් දා නිවේදනය කළේය.

    Last modified on අඟහරුවාදා, 02 පෙබරවාරි 2021 12:20

    Latest News