කොරෝනා එන්නත වි‍ශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට

ජන 29, 2021

    ඉන්දිය රජය මෙරටට පරිත්‍යාග කළ ඇස්ට්‍රා සෙනෙකා එන්නත, එන්නත්කරණය අද ආරම්භ විය. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අද උදේ ආරම්භ කෙරිණ. ප්‍රථම එන්නත ලබාදෙනු ලැබුවේ එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාටයි.

    අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලයට එන්නත ලබාදීම සිදුකෙරිණ. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීම සඳහා පත් කරනු ලැබ ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම නා‍රාහේන්පිට යුද හමුදා රෝහලේ දී අද ආරම්භ කෙරිණ. ඒ යුද හමුදා සාමාජිකයන් තිදෙනෙක්ට ප්‍රථමයෙන් එන්නත ලබාදීමෙන්. මීට සමගාමීව එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහ‍ල් 9කදී අද උදේ ආරම්භ කෙරිණ.

    උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී ද ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය සිදු කෙරිණ. රෝහලේ ස්ථාන 10ක දී එන්නත්කරණය සිදුවුනු අතර රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට එන්නත ලබා දුන්නේය. ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණ වැඩසටහන යටතේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ද එන්නත් ලබාදීම අද උදේ සිදු කෙරිණ. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද එක්ව සිටියේය.

    ඉන්දියාවෙන් ප්‍රදානය කෙරුණු ඇස්ට්‍රා සෙනෙකා එන්නත දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයට ලබාදීම අද උදේ ආරම්භ විය. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 800 දෙනෙක්ට පමණ එක් දිනක් තුළ එන්නත්කරණය සිදු කිරීමට නියමිතයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසකට ද එන්නත ලබාදීම අද සිදු කෙරිණ.

    ඒ රෝහල් අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. අද දිනයේ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 500 දෙනෙක්ට එන්නත් ලබාදීම සිදු කෙරෙනු ඇති. හෙට සහ අනිද්දා දිනයන්හි සියලු කාර්ය මණ්ඩලයට එන්නත ලබාදීම සිදු කරන බව රෝහල් පාලනාධිකාරිය පවසයි.

    Last modified on සිකුරාදා, 29 ජනවාරි 2021 11:53

    Latest News