නාකොටික් සිද්ධිය - 'උදාර' ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ජන 25, 2021

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට එම කාර්යාංශයේ නිලධාරින් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ 14 වන සැකකරු වශයෙන් නම් කර දැනට විදේශගතව සිටින උදාර සම්පත් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ජාත්‍යන්තර පොලිසිය මාර්ගයෙන් අත්අඩංගුට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් කළ ඉල්ලීමකට අනුවයි මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුවුණේ.

    පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් උදාර සම්පත් නැමැති සැකකරු මේ වන විට විදේශ ගතව සිටින බවත් ඔහු මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන මොලකරුවකු වශයෙන් හඳුනාගෙන තිබෙන බවත් පැවසුවා.

    ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මාර්ගයෙන් වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තු නිකුත් කිරීම සිදුකළා.

    ඉන් අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 16 දෙනා ලබන 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ.

    Last modified on සදුදා, 25 ජනවාරි 2021 11:53

    Latest News