මාතර නව උසාවි සංකීර්ණය මාර්තු මස ජනතා අයිතියට පත්කරනවා - ඇමති ඩලස්

ජන 23, 2021

    "පසුගිය වසර කිහිපයේ නැවතී තිබූ මාතර මහා නගර සංවර්ධනය සෞභාග්‍යයේ දැක්මෙන් යළි ආරම්භ කළා... " ඇමති ඩලස් මාතරදී කියයි.

    "එවකට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ඇතුළත් වූ එක් ප්‍රතිඥාවක් තමයි, මාතර නූතන නගරයක් බවට පත්කරන එක.

    ඒ ප්‍රතිඥා ප්‍රකාරව මේ වනවිට මාතර දිස්ත්‍රික්කය විශාල සංවර්ධනයකට උරුමකම් කියනවා. එහි තවත් එක් සුවිශාල ජයග්‍රහණයක් අත්පත් කරගැනීමක් වශයෙන් මේ නව උසාවි සංකීර්ණය හදුන්වන්න පුළුවන්. එසේම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මේ වනවිට ප්‍රකාශයට පත්කරලා තිබෙනවා පසුගිය රජය යටතේ අතරමග නවතා ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්න කියලා.

    ඒ අනුව මෙම උසාවි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරලා, මාර්තු මස දෙවන සතිය වනවිට මෙහි සමාරම්භය සනිටුහන් කරන්න අපි කටයුතු කරනවා" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

    මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිවන නව උසාවි සංකීර්ණයේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමින් ඊයේ (22) පස්වරුවේ අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළකරන ලදී.

    මාතර කොටුවිල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අභිනවයෙන් ඉදිවන මෙම තෙමහල් උසාවි සංකීර්ණයට සමගාමීව නීතීඥ කාර්යාලයක් ඉදිකිරීමේ සැලැස්මක්ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

    මේ වනවිට මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පිහිටා ඇති උසාවි සංකීර්ණයෙහි මහේස්ත්‍රාත් අධිකරණ 02ක්, දිසා අධිකරණ 03 ක් මෙන්ම මහාධිකරණයක් පවත්වාගෙන යනු ලබයි.

    මූලික පියවරක් වශයෙන් මෙම අධිකරණ අතරින් මහේස්ත්‍රාත් අධිකරණයක් සහ මහාධිකරණයක් අභිනවයෙන් ඉදිවන උසාවි සංකීර්ණයෙහි ස්ථාපිත කරනු ලබන අතරම ඉදිරියේදී සෙසු සියලු අධිකරණ පරිශ්‍රයන් මෙම නව ගොඩනැගිල්ල වෙත ගෙනයාමට නියමිතව ඇත. මෙහි ඇති සුවිශේෂිත්වයක් ලෙස උසාවිය වෙත පැමිණෙන දරුවන්ගේ මානසික තත්ත්වය සලකා බලමින්, සෙසු පිරිස් වෙතින් දුරස්වූ දරුවන් වෙනුවෙන්ම ඉදිවන නව උසාවි ශාලාවක්ද ඉදිරියේදී මෙහි ස්ථාපිත කිරීමයි.

    මාතර මහ නගර සැලැස්මට අනුව ඉදිවන මෙම නව උසාවි සංකීර්ණයේ වැඩකටයුතු බොහෝ කලකට ඉහතදී යේජනාවක් පමණක් වූ නමුත් මේ වනවිට 85% කින් පමණ අවසන් වී ඇති බවත්, මෙයට සමගාමීව නීතීඥ කාර්යාලයේ ඉදිකිරීම්ද කඩිනමින් සිදුකළ යුතු බවත් මෙහිදි ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා අවධාරණය කළේය. එසේම නවීන තාක්ෂණික ක්‍රමවේදයන් සහිත මෙම ගොඩනැල්ල වෙනුවෙන් වන විදුලිය, ජලය, සනීපාරක්ෂක සේවා මෙන්ම මාර්ග පහසුකම්ද උපරිම මට්ටමෙන් මෙන්ම කඩිනමින් සපයා දියයුතු බවද අමාත්‍යවරයා මෙහිදි අදාළ අංශ වෙත උපදෙස් සපයන ලදී.

    තමා විදුලිබල අමාත්‍යවරයා වශයෙන් ඉතාමත් මෑතකදී කොටවෙල ප්‍රදේශයේ විදුලි අවශ්‍යතා වෙනුවෙන් නව විදුලි ඩිපෝවක් ස්ථාපිත කරන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය. එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත මෙම උසාවි සංකීර්ණය වෙනුවෙන් ඉඩම් අත්පත් කරගැනීමේ කාර්යෙහි නියැලුණු මංගල සමරවීර මහතා ද මෙහිදී කෘතවේදීත්වය පළකළ යුතු බව අඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ජනාධිපති නීතීඥ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක යූ.ආර්.ඩී. සිල්වා මහතා ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීයසභා සභාපති, නීතීඥ සංගමය ප්‍රමුඛ විදුලිබල මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, ටෙලිකොම් ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය, මගී ප්‍රවාහන අධිකාරිය යන ආයතන නියේජිතයන් පිරිසක් සහභාගී වූහ.

    Latest News