පොලිතින් තහනමට විකල්ප හඳුනාගැනීමට නැනෝ තාක්ෂණ සහය

ජන 11, 2021

    ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත ප්ලාස්ටික් හා පොලිතීන් තහනමට නිසා විකල්ප හඳුනා ගැනීමට නැනෝ තාක්ෂණයේ සහාය ලබා දෙන ලෙස පරිසර අමාත්‍යවරයා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයෙන් ඉල්ලීමක් කරයි.

    ඉතා කෙටි කාලයක් තුළ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්ලාස්ටික් හා පොලිතීන් තහනමත් සමග ඒ වෙනුවට යොදා ගත හැකි පරිසර හිතකාමී විකල්ප නිෂ්පාදන සම්බන්ධයෙන් නැනෝ තාක්ෂණය සහාය ලබාදෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය - SLINTEC ආයතනයෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

    පරිසර අමාත්‍යවරයා පසුගියදා (08) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ නිලධාරින් සමග එම ආයතනයේ දී සාකච්ඡාවක නිරත විය.

    එහිදී අවධානය යොමු කෙරුණු කරුණු අතර දැනට අප රටෙන් අපනයනය කරනු ලබන ඛනිජ වර්ග බොහොමයක් අපනයනය කරනු ලබන්නේ අමුද්‍රව්‍ය වශයෙනි.

    එහෙත් ඒවා අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් හෝ නිමි භාණ්ඩ වශයෙන් අපනයනය කරනු ලබන්නේ නම් දැනට වඩා විශාල ආදායමක් අපට උපයාගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අප විසින් අමුද්‍රව්‍ය වශයෙන් අපනයනය කරන ඛනිජ ද්‍රව්‍ය අගය එකතු කළ භාණ්ඩ වශයෙන් හෝ නිමි භාණ්ඩ වශයෙන් අපනයනයෙන් ලබන ආදායමට වඩා වැඩි මිළකට මිල දී ගැනීමට අපිට සිදු වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම බොහෝ වටිනා ඛනිජ ද්‍රව්‍ය, අමුද්‍රව්‍ය වශයෙන් අපනයනය කළ ද ඒවායේ වටිනාකම් තීරණය කිරීම පිළිබඳව සෑහීමට පත් විය නොහැකි යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා අප රටෙන් අපනයනය කරනු ලබන ඛනිජ විශේෂයන්හි ගුණාත්මකභාවය පිළීබඳව හා ඒවායේ වටිනාකම් පිළීබඳව නිසි අගයක් නැනෝ තාක්ෂණය යොදා ගනිමින් සකස් කර දෙන ලෙස ද මෙහිදී සඳහන් කළේය.

    එමෙන්ම දැනට අප රටේ ඇති Grphaite හෙවත් මිනිරන් Graphite Oxide හා Graphane බවට පරිවර්තනය කිරීමේ හැකියාව ඇති ආසියාවේ විශාලතම කර්මාන්ත ශාලාව ද අමාත්‍යවරයා විසින් නිරීක්ෂණයට ලක් කළේය.

    අප රටේ මෙතෙක් සිදුවුයේ ග්‍රැපයිට් වශයෙන් අපනයනය කිරීම පමණි.

    ඉන් අපිට ලබා ගත හැකි වුයේ සුළු ආදායමක්. නමුත් ග්‍රැපයිට් හෙවත් මිනිරන් නිමි භාණ්ඩ හෝ අගය එකතු කළ භාණ්ඩ බවට පත් කර අපනයනය කිරීම තුළ විශාල ආදායමක් උපයා ගත හැකිව තිබේ.

    මිනිරන් කිලෝවක් අමුද්‍රව්‍ය වශයෙන් අපනයනය කරන විට ලද ආදායම ඇමරිකන් ඩොලර් 10ක් පමණ වුවත්, නිමි භාණ්ඩයක් වශයෙන් ග්‍රැපයිට් ඔක්සයිඩ් හෝ ග්‍රැපේන් බවට පත් කර අපනයනය කරන විට කිලෝවක් ඊට වඩා සිය ගුණයකින් පමණ ඉහළ මිලකට අලෙවි කළ හැකි යැයි එම නිළධාරිහු පෙන්වා දුන්නේය.

    මේ නිසා අප රටෙන් දැනට අපනයනය කරන ඛනිජ සම්පත් විශාල ප්‍රමාණයක් කුණු කොල්ලයට විදේශ වෙළෙඳ පොළට අපනයනය කිරීම නිසා රටට ලැබිය යුතු ආදායම නොලැබී ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම සාකච්ඡාවට ප්‍රධාන මෙහෙයුම් නිලධාරි හේමින්ද ජයවීර, ප්‍රධාන පර්යේෂණ හා නව නිෂ්පාදන විද්ද්‍යාඥ ආචාර්ය අශිෂ් මුබාරක් යන මහත්වරු ද සහභාගි වී සිටියහ.

    Latest News