කුරුණෑගලට අතිනවීන නව රෝහලක් (වීඩියෝ)

ජන 10, 2021
  • කුරුණෑගල පළාත් මහ රෝහල අතිනවීන රෝහලක් ලෙස අලුතින්ම ඉදි කර දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    පළාත් මහ රෝහලේ සහ දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල් ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර් කාර්යාලයේ අද පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    අලුතින්ම නව රෝහල ඉදි කරන තුරුම අනිකුත් රෝහල්වලට සමගාමීව කුරුණෑගල මහරෝහලේ පවතින වෛද්‍ය හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හිඟය වහා පියවන්නැයි අගමැතිවරයා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නා. අමාත්‍යවරිය කියා සිටියේ මසක් ඇතුළත අදාළ අඩුපාඩු සම්පූර්ණ කරන බවයි. ශික්ෂණ රෝහලක් ලෙස හැඳින්වුවද කුරුණෑගල මහ රෝහල පළාත් මහ රෝහල ලෙස මේ දක්වා ක්‍රියාත්මක වන බවද මෙහිදී හෙළි කෙරුණා.

    වසරකට රෝගීන් දෙලොස් ලක්ෂයක් පමණ මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබනවා. 2019 වසරේ දත්ත අනුව එම වසරේ දී බාහිර රෝගී අංශයෙන් පමණක් ප්‍රතිකාර ලබා ඇති රෝගීන් සංඛ්‍යාව හයලක්ෂ තිස් දහසක්. මාසික නව දරු උපත් 1000ක් පමණ සිදුවනවා. කොළඹ ජාතික රෝහලට හා මහනුවර රෝහලට පමණක් දෙවෙනි වන කුරුණෑගල මහ රෝහල මෙරට තෙවැනි විශාලතම රෝහලයි. එය ඇඳන් 2364 කින් සමන්විතයි. වසරකට ශල්‍යකර්ම 18000 කට අධික සංඛ්‍යාවක් ද මෙහි සිදුකෙරෙනවා. ශල්‍යාගාර හයක් යොදා ගනිමින් අදාල ඉලක්කය සපුරා ගන්නා බව වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය සාකච්ඡාවේ දී පෙන්වා දුන්නා. නව මාතෘ වාට්ටු සංකීර්ණය හා විශේෂඥ ශල්‍ය ඒකක සඳහා අවශ්‍ය ශල්‍යාගාර විකලාංග හා අක්ෂි ශල්‍ය ඒකකයක් නව ඡන්ම ළදරු ඒකකයක් මෙන්ම රෝහලේ කාර්ය මණ්ඩල හිඟය හා ඉදිරි සංවර්ධන සැලැස්ම පිළිබඳව මෙහිදී හෙළි කෙරුණා.

    වාරියපොල, නිකවැරටිය, ගල්ගමුව, පොල්පිතිගම ඇතුළුව රෝහල්වල පවතින දුෂ්කරතා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා. වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ රාජ්‍ය අමාත්‍ය ඩී. පී. හේරත් යන මහතුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News