95 වන ගුවන් විදුලි සංවත්සරය වෙනුයෙන් ඕකිඩ් මලක්

දෙසැ 16, 2020

    ජාතික ගුවන් විදුලියේ 95 වන සංවත්සරය නිමිත්තෙන්, පේරාදෙණිය උද්භිත උදද්‍යානයේ නිර්මාණය කළ ඕකිඩ් මලක්, ගුවන් විදුලිය නමින් අද (16) නම් කරනු ලැබීය.

    Dendrobium Radio Ceylon ලෙස එය නම් කර තිබෙන බව ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශෙලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය පැවසුවාය.

    Dendrobium ගණයට අයති ඕකිඩ් මල් ප්‍රභේද දෙකක් මුහුම් කර, මෙම නව දෙමුහුම් ඕකිඩ් මල් ප්‍රභේදය නිර්මාණය කර තිබේ. උද්භිත උද්‍යානයේ ඕකිඩ් අංශය බාර කෘෂිකර්ම උපදේශිකා ඉරෝෂිනී අන්ද්‍රාදි (Iroshini Andradhi) මහත්මිය, මෙම නව දෙමුහුම් ඕකිඩ් මල වෙනුවෙන් නිර්මාණ දායකත්වය ලබා දී තිබේ.

    මේ ආකාරයෙන් මුහුම් කර, නව ප්‍රභේද නිර්මාණය කර, මෙරටට පැමිණෙන විශේෂ අමුත්තෙකුගේ, රාජ්‍ය නායකයෙකුගේ හෝ රාජ්‍ය නායකයෙකුගේ බිරිඳගේ, විශේෂිත ජනාධිපතිවරයෙකු නම් හෝ කාන්තාවක් නම් ඔවුන්ගේ නාමයෙන්, මෙම නව ඕකිඩ් මල් ප්‍රභේද නම් කිරීම සිදු වුවත්, ආයතනයක නාමයෙන් නව ඕකිඩ් මල් ප්‍රභේදයක් නම් කෙරුණ පළමු අවස්ථාව මෙය බව ද ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශෙලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය සඳහන් කළාය. මේ සඳහා ඓතිහාසික වශයෙන් වැදගත්කමක් සහිත, ජාතික ගුවන් විදුලියේ 95 වන සංවත්සරය විශේෂිත අවස්ථාවක් වීම ඊට මුල් වූ හේතුව බවද ඇය පැවසුවාය.

    මෙම නව Dendrobium Radio Ceylon ඕකිඩ් මල් ප්‍රභේදය, විශාල වෙළෙඳපොල ඉල්ලුමකට හිමිකම් පවතින ඕකිඩ් මල් විශේෂයක් බව ද ඇය කීවාය. කැපූ මලක් ලෙස මල් බඳුන්වල බහා විකිණීමට හැකි බවත්, එය කාලයක් සුරක්ෂිතව තබා ගැනීමට හැකි බවත් ඇය සඳහන් කළාය. මේ අනුව ඉදිරියේදී පටක රෝපණය කර Dendrobium Radio Ceylon ප්‍රභේදය විකිණිමට හැකි බව ද ඇය පෙන්වා දුන්නාය.

    Dendrobium Radio Ceylon ප්‍රභේදයේ පැල වැඩි වශයෙන් නිර්මාණය කර වගාකරුවන්ට ලබා දෙන බවත්, ඕකිඩ් මල් අලෙවිකරුවන්ට ඉහළ ආදායමක් ඉපයීමට Dendrobium Radio Ceylon නව දෙමුහුම් ඕකිඩ් ප්‍රභේදය යොදා ගැනීමට හැකි බවත් ඇය කීවාය.

    Latest News