ආසාදිතවූ මහර රැඳවූවන්ගේ දේහ ආදාහනයට නියෝග (වීඩියෝ)

දෙසැ 16, 2020
  • මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම අතරතුරදී වෙඩි වැදීමෙන් මියගොස් ඇති බවට තහවුරු වූ සිව් දෙනෙකුගේ දේහ රජයේ වියදමින් ආදාහනය කරන ලෙස, වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා අද නියෝග කළේය.

    ඒ්, සිද්ධියෙන් මියගිය රැඳවූවන් 11 දෙනාගේ සිරුරු කොවිඩ්-19 සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ආදාහනය කිරීම වළක්වාලන නියෝගයක් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේ.

    සිද්ධියෙන් මියගිය රැඳවූවන්ගේ දේහ පිලිබඳ පශ්චාද් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කෙරුණු විශේෂඥ පරික්ෂණ මණ්ඩලයේ සංක්ෂිප්ත වාර්තාවක් අද මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරිණ. ඒමගින් හෙළි වී ඇත්තේ, සිව් දෙනෙකුගේ මරණවලට හේතුව වෙඩි වැදීම් බවයි.

    නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ රජයේ නීතිපතිවරයා වෙනුවෙන් නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පෙනී සිටියාය. ඒහිදී අගතියට පත් පාර්ශ්වය ඉල්ලා සිටියේ, අදාළ දේහ ඥාතීන්ට බාර දෙන ලෙසයි. ඊට විරෝධතාව පළ කළ නීතිඥ නිශාරා‌ ජයරත්න මෙනෙවිය ඒම මියගිය සිව් දෙනා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බැවින් ආදාහනය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියාය.

    පශ්චාද් මරණ පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ මණ්ඩලය සිය වාර්තාවෙන් ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය සාම්පල ලබාගෙන ඇති බැවින් ඒම මළ සිරුරු 4 යළි ගොඩ ගැනීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවයි.

    කරුණු සියල්ල සළකා බැලූ වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා රජයේ වියදමින් අදාළ දේහ නොපමාව ආදාහනය කරන ලෙස නියෝග කළේය. නඩුව ලබන 18 වැනි දින යළි කැඳවීමට නියමිතයි.

    Last modified on බදාදා, 16 දෙසැම්බර් 2020 19:47

    Latest News