ඉඩම් නැති ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයන්ට ඉඩම් අයිතිය

දෙසැ 10, 2020

    ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවයකරන කම්කරුවන් ඇතුලු ඉඩම් අයිතිය තවමත් නැති සියලු සේවකයන්ට මාස 03 ක් ඇතුලත නීත්‍යානුකූලව ඉඩම් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබාදුන්නා.

    ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පාලනාධිකාරය හා අමාත්‍යවරයා අතර මේ පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. පර්චස් 07 ක ඉඩමක් සෑම සේවකයකුටම නිවාස සකස්කරගැනීම සඳහා වහාම ලබාදෙන ලෙසත් එය කඩිනමින් සිදුවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අදාල නිලධාරීන්ට අවධාරණය කළා. දශක කිහිපයක් පුරා මෙම සේවකයන්ට පැවති රජයන් ඉඩම් ලබාදීම පොරොන්දුවක් පමණක් වූ බවත්, එය යථාර්ථයක් කිරීම මෙම තීරණයට හේතු වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. රටට ආදායම සොයාදෙන දහඩිය වගුරවන මෙම සේවකයන්ට සාධාරණය ඉටුවිය යුතු බවත්, විවිධ චක්‍රෙල්ඛ, රෙගුලාසි වෙනුවෙන් කාලය කා දෑමීම වෙනුවට ඔවුන්ට ඉඩම් ලබාදීම කාර්යක්ෂමව සිදුවිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සාකච්ඡාවට එක්වූ නිලධාරීන්ට අවධාරණය කළා.

    එසේම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් සියළු සේවකයන්ගේ අර්ථ සාධක මුදල් ලබන වසර අවසන් වීමට පෙර ගෙවා අවසන් කළයුතු බවද අමාත්‍යවරයා අදාල පාලනාධිකාරියට මෙහිදී දැනුම් දුන්නා. ප්‍රධාන ගැටළු කිහිපයකට මෙවැනි කඩිනම් විසඳුම් මෙන්ම එම සේවකයන්ගේ පවතින අනෙකුත් ගැටළු ද එකින් එක විසඳන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේ. ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් රටේ ජාතික ආදායමට අවශ්‍ය නිෂ්පාදන කාර්යය සාර්ථකව සිදුකිරීමට සේවක ගැටළු ප්‍රායෝගිකවල කඩිනම්ව විසඳීම පාලනාධිකාරයේ වගකීම බවත්, ඒ තුළින් අපේක්ෂිත ඉලක්ක කරා ගමන්කරමින් සාර්ථක ඉදිරි ගමනක් නිර්මාණය කළ හැකිබවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම සාකච්ඡාවට එක්වූ නිලධාරීන්ට අවධාරණය කළා.

    Latest News