මාලික් අසීස් මහතා පාස්කු කොමිසම හමුවට

දෙසැ 05, 2020

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර අවස්ථා දෙකකදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජාමාත් සංවිධානය පිළිබද සවිස්තරාත්මක ගොනු දෙකක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබුනද ගතයුතු නෛතික පියවර සම්බන්ධයෙන් උපදෙස් දීමක් සිදුව නොමැති බව ජනාධිපති කොමිසමේදි අද අනාවරණය වුණා.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් අදාළ ගොනුව භාරව කටයුතු කළ රජයේ අධිනීතිඥ මාලික් අසීස් මහතා කියා සිටියේ අදාළ ගොනු තුළ නෛතික උපදෙස් දීමට තරම් කරුණු අන්තර්ගත නොවු බවයි.

    මේ අතර රජයේ අධිනීතිඥවරයා සාක්ෂි ලබාදුන් අකාරය පිළිබද සිය බලවත් අප්‍රසාදය පළ කළ සභාපති විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් දැඩි අවවාද කිරීමක්ද සිදුකළා.

    පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් සහ ජාතික තවිහිද් ජමාත් සංවිධානය පිළිබද ප්‍රහාරයට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සවිස්තරාත්මක ගොනු ඉදිරිපත් කළද ඒ්වාට නිසි නෛතික උපදෙස් ලබාදීමක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදු නොකළේ යැයු කියවෙන සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම අද සාක්ෂි විමසීම සිදු කළා.

    ඒ අනුව අද පළමුව කොමිසම හමුවට කැදවා තිබුණේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් යොමුකළ අදාළ ගොනු භාරව කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ මාලික් අසීස් මහතාවයි.

    කෙසේ වෙතත් වෙනත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මෙහෙයවීම සිදුකරන ජනාධිපති කොමිසමට සහය දක්වන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායම අද දිනයේ මෙම සාක්ෂිකරුගේ සාක්ෂි මෙහෙයවීම සිදුනොකළ අතර ජනාධිපති කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විසින්ම අද දිනයේ සාක්ෂි මෙහෙයවීම විශේෂත්වයක්.

    එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරු වෙත EER /08/2017 ගොනුව ඉදිරිපත් කරමින් විමසා සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකට අදාළ නීතිපති දෙපාර්තමේන්තුව සතු මෙම ගොනුව භාරව සිටි නිලධාරියා කවුරුන්ද යන්න විමසා සිටියා.

    අදාළ ගොනුව භාරව සිටි නිලධාරියා තමා බව රජයේ අධිනීතිඥ අසීස් මහතා පිළිගැනීමත් සමග සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ ඔබේ අධීක්ෂණය නිලධාරියා ලෙස කටයුතු කළේ කවුරුන්ද ‍යන්නයි.

    එයට පිළිතුරු දෙමින් රජයේ අධිනීතිඥවරයා සදහන් කළේ එවකට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙකු ලෙස කටයුතු කළ වත්මන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා තම අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ අතර ඔහු විසින් මෙම ප්‍රශ්නගත ගොනුව තමාට යොමු කළ බවයි.

    එහිදි කොමිසමේ සභාපතිවරයාගේ නියමයෙන් ප්‍රශ්නගත EER /08/2017 ගොනුව සාක්ෂිකරු වෙත ඉදිරිපත් කෙරුණු අතර එය අධ්‍යනය කළ සාක්ෂිකාර රජයේ අධිනීතිඥවරයා කියා සිටියේ මේ වන විට කොමිසම් සභාව සතුව පවතින ගොනුවේ ඇතුළත් ලේඛන සියල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් තමන්ට යොමුකළ මුල් ගොනුවේ නොපැවති බවයි.

    2017 ජුනි මස 07 වන දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබු ගොනුව පිටු 16 කින් පමණක් සමන්විත වු අතර එහි ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයත් අන්තවාදි අදහස් ප්‍රචාරය කළ වෙබ් අඩවි තහනම් කිරීම සහ එම සංවිධානයේ සමාජික සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නෛතික උපදෙස් ඉල්ලා තිබු බව සාක්ෂිකාර රජයේ අධිනීතිඥවරයා සදහන් කළා.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ මුල් ගොනුව තුළ කාන්තන්කුඩි හිස්බුල්ලා ශාලාවේ 2017 පෙබරවාරි මස 17 දෙමළ බසින් පවත්වා තිබු දේශන දෙකක සිංහල පරිවර්තන සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහ සහරාන් හෂීම්ගේ Facebook ගිණුම්වල Screenshort ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබු බවයි.

    අදාළ මුල් ගොනුව තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන යම් කරුණු අන්තර්ගතව පැවතියේද යන්න ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි විමසා සිටියා.

    එයට පිළිතුරු දෙමින් රජයේ අධිනීතිඥවරයා කියා සිටියේ අදාළ මුල් ගොනුව තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නගත නෛතික උපදෙස් ලබාදීමට තරම් ප්‍රමාණවත් කරුණු අන්තර්ගත නොවු අතර FaceBook ගිණුම් තුළ වු විඩියෝ දර්ශන තමන්ට එවන ලෙස පමණක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දන්වා යැවු බවයි.

    එහිදි කොමිසමේ සභාපතිවරයා අදාළ මුල් ගොනුව තුළ අන්තර්ගත කරුණු කෙරෙහි සාක්ෂිකාර අධිනීතිඥවරයාගේ අවධානය යොමු කරමින් මෙසේ ප්‍රශ්න කළා.

    "දැන් ඔබ කිව්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ මුල් ගොනුවේ ජාතික ආරක්ෂාව ප්‍රශ්න ගත වෙන කරුණු නැහැ කියලා. නමුත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ ලේඛනයේ දක්වා තිබෙනවා ජාතික කොඩිය එසවීම ඉස්ලාම් ධර්මයට පටහැනි කියලා ඔය කියන ජාතික තවුහිද් ජමාත් සංවිධානය පවසා ඇති බව. ඒ වගේම ලෝකේ තියෙන්නේ රාජ්‍ය දෙකයි, එකක් ඉස්ලාම් රාජ්‍ය අනිත් රාජ්‍ය ඔවුන්ට බදු ගෙවිය යුතුයි කියන එක, අනෙකුත් දහම් අදහන අය ඉස්ලාම් දර්මය අදහන අයගේ මිත්‍රයන් නොවන බව ඔබ වෙත එවා ඇති දේශනවල සදහන් වෙන බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය දැනුම් දී තිබෙනවා. මේ කියන කාරණා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් බව ඔබට වැටහුනේ නැද්දැයි " ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළා.

    එයට නැහැ යන පිළිතුර ලබාදුන් රජයේ අධිනීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ,

    "ස්වාමිනි දේශන කිහිපයක පරිවර්තන ටිකක්, Screenshort ටිකක් ඉදිරිපත් කළ පමණින් නීතිපතිට නෛතික උපදෙස් දෙන්න බැහැ. මේ සම්බන්ධයෙන් විමර්ශනය කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. " යන්නයි.

    ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එව්ව මුල් වාර්තාවේම සදහන් වෙනවා නේද පුළුල් විමර්ශනයක් කරලයි ඔවුන් මේ වාර්තාව යොමුකළේ කියලා යැයි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා යළිත් ප්‍රශ්න කළා.

    "එහෙම ගොනුවේ සදහන් වුනාට ස්වාමිනි ඔවුන් විමර්ශනයක් කළ බවට ගොනුවේ කරුණු අන්තර්ගත වෙලා තිබුනේ නැහැ. ඔවුන් 2018 ජුනි 14 එව්වා දෙවන ලිපිගොනුව පිටු 65 කින් සමන්විතයි. එකේ සී.ඩි තැටි දෙකක විඩියෝ පට 14ක් අන්තර්ගත වෙලා තිබුණා. එයින් 13 ක්ම එක පුද්ගලයෙක්ගේ. මොහොමඩ් තවුහික්, මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් කියන නමුත් එහි සදහන් වෙලා තිබුණා. නමුත් ඒ විඩියෝ පටි බලපුවාමත් විමර්ශනයක් කරා කියන්න කරුණු තිබුනේ නැහැ. හුදෙක් බුද්ධි තොරතුරු ටිකක් පමණයි. ඒ නිසා දන්වා යැව්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ට 2019 මාර්තු 12 මාව හම්බවෙන්න කියලා " යැයි රජයේ අධිනීතිඥවරයා පිළිතුරු දුන්නා.

    එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා යළි විමසා සිටියේ,

    " ඔබ කිව්වා විඩියෝ 14න් 13ක්ම එක පුද්ගලයෙක්ගේ කියලා. ඒ කියන්නේ ඔබට දැනීමක් තිබුණා සහරාන් හෂීම් කියලා පුද්ගලයෙක් අන්තවාදි දේශන කරනවා ඔහුට විරුද්ධව කටයුතු කරන්නයි මේ නෛතික උපදෙස් ඉල්ලන්නේ කියලා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඔබ වෙත යොමුකළ මේ දෙවැනි ගොනුවෙත් ඉස්ලාම් රාජ්‍ය අල්ලා සන්තක වනතුරු සටන් කරන්න, ජිහාඩ් කරන්න කියන දේවල් මේ දේශනවල සදහන් වෙන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය දන්වා තිබෙනවා. එහෙම තියෙද්දිත් ඇයි ඔබ මුල් ගොනුව ලැබිලා මාස 19 ක් යනකං නෛතික උපදෙස් දීමක් සිදු නොකළේ " යන්නයි.

    "ස්වාමිනි, මම රජයේ අධිනීතිඥවරයෙක් විදිහට මේ ගොනුව භාරව විතරක් නෙමේ කටයුතු කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු මෙහෙයවීමෙත් යෙදී සිටියා. අනික ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නීතිපති උපදෙස් අවශ්‍යම නැහැ විමර්ශනයක් ඉදිරියට ගෙනියන්න. ඔවුනට නෛතික උපදෙස් අවශ්‍යම නම් ඔවුනට මාව ඇවිත් හම්බෙන්න තිබ්බා. මම 2019 මාර්තු 12 ඔවුන්ව කැදවනකන් ඔවුන් මාව හමුවෙන්න ආවේ හෝ සිහිකැදවීමේ ලිපියක් එව්වේ නැහැ. 2019 මාර්තු 12 මම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් තිදෙනෙකුව හම්බුනාමයි දැනගත්තේ ඔවුන් ඒ වෙද්දිත් සහරාන් හෂීම්ව අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබුණා 2018 ජුනි 18. නමුත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඔවුන් සතුව තිබුණු වැදගත් ලේඛන රැසක් ඔවුන් 2017 ජුනි මස 07 මුල් අවස්ථාවේදි හෝ 2018 දෙවැනි අවස්ථාවේදි අපවෙත යොමුකර නැහැ. අඩුම තරමින් සහරාන් හෂීම් සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කිරීමට හේතුවන වලිඋල්ලා ට්‍රාස්ට් නැමැති සංවිධානයේ පැමිණිල්ලවත් ඔවුන් නීතිපති උපදෙස් සදහා යොමු කර නැහැ. සහරාන් හෂීම්ගේ මවගෙන් සහ ඔවුන් රැදී සිටි කුලි නිවසේ හිමිකරුගෙන් සටහන් කරගත්තු ප්‍රකාශවත් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර නැහැ උපදෙස් වලට. ඒ නිසයි මම 2019 මාර්තු 12 කිව්වේ සති තුනක් ඇතුළට නීතිපතිට එවලා නැති ලේඛන එවන්න කියලා " යැයි රජයේ අධිනීතිඥවරයා පැහැදිලි කළා.

    මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා යළිත් ප්‍රශ්න කළේ ඔබ මේ සම්බන්ධයෙන් ඔබේ අධීක්ෂණය නිලධාරියා වු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා සමග පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර සාකච්ඡා කළේද යන්නයි.

    " නැහැ. සාකච්ඡා කිරීමට තරම් ප්‍රබල කරුණක් තිබ්බේ නැහැ. නමුත් මම අන්තර් වාර්තාවක් ඉදිරිපත් කළා " යැයි රජයේ අධිනීතිඥවරයා පිළිතුරු දුන්නා.

    "ඒ ඉතිං අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වුනාට පස්සේනේ යැයි. " ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සාක්ෂිකරු හමුවේ කියා සිටියා.

    කෙසේ වෙතත් ජනාධිපති කොමිසම හමුවේ රජයේ අධිනීතිඥ මාලික් අසීස් මහතා සාක්ෂි ලබාදුන් ආකාරය පිළිබද කිහිපවරක් සැලකිලිමත් වු ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ඔහු සාක්ෂි ලබාදුන් විලාශය පිළිබද සිය අප්‍රසාදය පල කළ අතර ඔහුට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ " ඔබ මේ ජනාධිපති කොමිසම හමුවේ එක් සාක්ෂිකරුවෙකු පමණයි. එබැවින් තර්ක ඉදිරිපත් නොකර අසන ප්‍රශ්නයට පමණක් පිළිතුරු දෙන්න " යනුවෙන්.

    Last modified on සෙනසුරාදා, 05 දෙසැම්බර් 2020 18:20

    Latest News