පාරට ඇවිත් ඉගෙනගත්ත වෙරදැරූ කෙලිකන්ද දරුවන්ට 4G තාක්ෂණය

දෙසැ 05, 2020

    කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට ඊයේ (04) 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් හිමිවිය.

    විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

    කෙලින්කන්ද ග්‍රාමයේ දරුවන් පිරිසක් පාර දෙපස සිට ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වල පළකර තිබිණ.

    එය දුටු විදුලි සංදේශ නියාමන කොමිසම සති දෙකක් තුළ 4G තාක්ෂණය සහිත සන්නිවේදන පහසුකම් කෙලින්කන්ද ප්‍රදේශයට ලබාදීමට පියවර ගත්තේය.

    ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සහ ඩයලොග් සමාගම් එක්ව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධීක්ෂණයෙන් සන්නිවේදන කුළුණු ස්ථාපනය කළ අතර ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ශ්‍රම දායකත්වය සහ සහයෝගය ඒ සඳහා ලැබී තිබේ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් රජය ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි 4G තාක්ෂණය සහිත සන්නිවේදන පහසුකම් සැලසීම එහි අරමුණයි.

    කෙලින්කන්ද ග්‍රාමයේ බහුතර ජනතාවගේ ජීවනෝපාය සලසා ගන්නේ භෝග වගාවෙන් සහ සුළු කර්මාන්ත වලිනි. ප්‍රදේශය විටින් විට ස්වාභාවික ආපදාවනට ගොදුරු වෙයි. සන්නිවේදන පහසුකම් නොතිබීම එවන් අවස්ථාවලදී ජනතාවට සහන සැලසීමට බරපතළ බාධායක්ව පැවතිණ.

    නව සන්නිවේදන පහසුකම් සමග දූ දරුවන්ගේ අධ්‍යාපනය සේම ප්‍රදේශවාසීන්ගේ ආර්ථික, සමාජ ජීවිතය ද වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ඊයේ වැඩසටහනට සමගාමීව කෙලින්කන්ද ප්‍රාථමික විද්‍යාලයට පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීම ද සිදු වූ අතර විද්‍යාලයීය පරිගණක විද්‍යාගාරයක් සඳහා මුල්ගල තැබීම ද විදුලි සංදේශ නියාමන කොමිසමේ මූලිකත්වයෙන් සිදු විය.

    ඩයලොග් සහ මොබිටෙල් ආයතන කෙලින්කන්ද ජනපද ප්‍රාථමික විද්‍යාලයට පරිගණක සහ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දුන්නේය.

    පූජ්‍ය රදලියද්දේ පුණ්‍යරතන හිමි, පූජ්‍ය මනම්පිටියේ තිලකසිරි හිමි, මොබිටෙල් සහ ඩයලොග් ආයතන දෙකේ නිලධාරීහූ පිරිසක් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 05 දෙසැම්බර් 2020 16:51

    Latest News