මහින්දගේ ක්‍රියාවක් අගමැති සිහිපත් කරයි (වීඩියෝ)

ජන 19, 2019
  • රට කලාපවලට බෙදා කලාප සංගමයක් කිරීමට ප්‍රථමයෙන්ම සහයෝගය දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරනය කරයි.

    එක්සත් ජාතික පක්‍ෂය ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරිය යුතුය යන ස්ථාවරයේ අඛණ්ඩව සිටින ඔහු තවදුරටත් කියා සිටියේය.ගාල්ල, කරගොඩ, යක්කලමුල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ඉදි කළ සංඝාවාසය සහ දහම් පාසල් ගොඩනැගිල් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මේ බව ප්‍රකාශ කලේය.

    ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කරමින් ඉදිරිපත් කරන ඕනෑම වැඩපිළිවෙළකට තම සහයෝගය ලබාදීමට සූදානම් නමුත් ඉන් බැහැරව ඉදිරිපත් කරන කිසිදු වැඩපිළිවෙළකට තම සහයෝගය නොලැබෙන බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    උත්සව සභාව ඇමතු අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා - “යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශයක් අද පුවත් පත් කිහිපයක පළ වී තිබෙන බව මා දුටුවා. එය අපි ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. අද ඇතැම් අය ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා කියා, රට කැඩෙනවා කියා චෝදනා කරනවා. මෙවන් පසුබිමක අපේ මහානායක ස්වාමීන් වහන්සේගේ අදහස් දැක්වීම ඉතාම වැදගත් වන බව කිව යුතුයි.

    ව්‍යවස්ථාවේ රට කැඩෙන බවට චෝදනා කළත් තවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් අපි සකස් කර නැහැ. අඩුම තරමින් ව්‍යවස්ථා කෙටුම්පතවත් හදලා නැහැ. නමුත් පාර්ලිමේන්තුවම එකතු කර ව්‍යවස්ථාදායක සභාවක් පත් කළා. සියලූ පක්‍ෂ නියෝජනය වන පරිදි මෙහෙයුම් කමිටුවක් පත් කළා. එහි සභාපති ලෙස මා කටයුතු කරනවා. එහිදී ඉදිරිපත්ව ඇති සියලූ යෝජනා සාකච්ඡාවට භාජනය වුණා. ඒ අනුව එම අදහස් හා යෝජනා අනුව අන්තර් වාර්තාවක් සකස් කළා. ඒ ගැන දින 04 ක් 05 ක් පාර්ලිමේන්තුවේ විවාද කළා. ඉන් අනතුරුව ද මතු වූ අදහස් සම්බන්ධව අවධානය යොමු කරමින් වාර්තා සකස් කළා. දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙන්නේ ඒ වාර්තාවයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන එනවා නම් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහයෝගය තිබිය යුතුයි. එවැනි සහයෝගයක් තිබෙනවා ද නැද්ද කියා අප තවම දන්නේ නැහැ. එය පක්‍ෂ නායකයින් තීරණය කළ යුතුයි. එහෙම සහයෝගයක් තිබෙනවා නම් ව්‍යවස්ථාව සකස් කරමු. එවැනි සහයෝගයක් නැති නම් ව්‍යවස්ථාව සැකසීමෙන් පළක් නැහැ. 1995 දී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කලාප සංගමයකට සහයෝගය ලබා දුන්නා. ඊට උදව් කළා. චන්ද්‍රිකා මැතිණිය කලාප සංගම් ක්‍රමය ඇතුළත් ව්‍යවස්ථා කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ ඇමැතිවරයෙක් ලෙස ඊට උපරීම සහයෝගය ලබා දුන්නා. එදා මහින්ද රාජපක්‍ෂ පෙනී සිටියේ රට කලාපවලට බෙදා කලාප සංගමයක් බවට පත් කිරීමටයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් ඒ ස්ථාවරයේ සිටියා. නමුත් මා ඒ ස්ථාවරයේ සිටියේ නැහැ.

    මහින්ද රාජපක්‍ෂ මහතා කලාප ක්‍රමයට සහයෝගය දක්වන අවස්ථාවේ අපි එතුමාගෙන් මේ ගැන විමසුවා. නමුත් එතුමා ප්‍රකාශ කළේ එයින් රට බෙදෙන්නේ නැති බවයි. එසේ නම් කවුරුන් හෝ කලාප ක්‍රමයක් ඇති කළ යුතු බවට යෝජනා කළොත් එමගින් රට බෙදෙන බව එතුමාට කියන්නට බැහැ. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ලෙස සර්ව පාක්‍ෂික සමුළුව පිහිටුවමින් එදා ප්‍රකාශ කළේ මට උවමනා උපරීම බලය බෙදාහැරීමට බවයි. එදා එතුමා තෛපොංගල් උත්සවයේදී ද්‍රවිඩ භාෂාවෙන් කතා කරමින් කියා සිටියේ මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස්වලට එකඟවිය හැකි ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවයි. මේ එකක්වත් රට බෙදෙන ඒවා කියා අපට කියන්නට බැහැ.

    අද මට ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා මගේ ස්ථාවරය වෙනස් කර ගන්නේ නැහැ කියා. හැම කෙනෙක්ම කියනවා හැමදාම ඒකීය රාජ්‍ය ස්ථාවරයේ ඉන්නවා කියා. එදා ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන්ලද ඒකීය රාජ්‍ය ස්ථාවරයේ සිටියා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස තිබිය යුතු බවට රජිව් ගාන්ධි මැතිතුමාගෙන් පවා අත්සන් ලබා ගත්තා. ඊට පසු රණසිංහ ප්‍රේමදාස, ඩී,බී. විජේතුංග මැතිතුමන්ලා ද ඒකීය රාජ්‍ය ස්ථාවරයේ සිටියා. මගේ ස්ථාවරය ද එයයි. ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරීම සිදු කළ යුතුයි.

    හිටපු ජනාධිපතිතුමාට මේ ස්ථාවරයට පැමිණිය හැකි නම් මගේ ස්ථාවරය වී තිබෙන්නේ ඒකීය රාජ්‍යය තුළ බලය බෙදාහැරීමයි. ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කරමින් ඉදිරිපත් කරන ඕනෑම වැඩපිළිවෙළකට අපේ සහයෝගය ලබාදෙනවා යැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, මනූෂ නානායක්කාර, හිටපු ඇමැති පියසේන ගමගේ ඇතුළු දේශපාලනඥයින් රැසක් සහභාගීවී සිටියහ.

    Last modified on සෙනසුරාදා, 19 ජනවාරි 2019 21:58

    Latest News