සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව හා චීනය එකඟවෙයි

නොවැ 25, 2020

    දරිද්‍රතාවය පිටු දැකීම සහ ජනතාවගේ ජීවනෝපායන් නංවාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දැනට ක්‍රියාත්මකව පවතින සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව හා චීනය එකඟ වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

    චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශණයේ 11 වන සැසියේ දී එම එකඟතාව පළවී තිබේ.

    විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා හා චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලුවෝ ජාවෝහුයි මහතා මෙම සැසියේ මුලසුන දරා ඇත. 23 වැනි දින පැවැති මෙම සැසිවාරයේදී දෙරටේ වෙළෙඳාම හා ආයෝජන ඉහළ නැංවීම සඳහාද එකඟතා පළ වූ බව විදේශ අමාත්‍යාංශය පැවසීය.

    ශ්‍රී ලංකාව සහ චීනය අතර උපායමාර්ගික සහයෝගී හවුල්කාරීත්වය තවදුරටත් ඉහළ නැංවීම පිණිස අන්‍යෝන්‍ය සහයෝගීතාව සඳහා නව මංපෙත් දෙපාර්ශ්වය විසින්ම මෙම සැසිවාරයේදී හඳුනාගැනුණු බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

    ශ්‍රී ලංකාව සහ චීනය අතර දැනට පවත්නා බහුවිධ හවුල්කාරීත්වය පිළිබඳව තෘප්තිය පළකරන අතරම, ඉහළ මට්ටමේ හුවමාරු ශක්තිමත් කිරීම, කොවිඩ් - 19 වසංගතයට එරෙහිව සටන් කිරීම, ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් වීමේ ප්‍රයත්න, පුද්ගලාන්තර හුවමාරුව සහ ජාත්‍යන්තර හා කලාපීය කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාවය පිළිබඳව දෙපාර්ශ්වයම එම සැසියේදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

    Latest News