ෂරියා විශ්වවිද්‍යාලයට අනුමැතිය ගෙන ඇත්තේ,වෘත්තීය පුහුණු ආයතනයක් ඉදිකරන මුවාවෙන්

නොවැ 14, 2020

    මහත් ආන්දෝලනයකට තුඩුදුන් නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමේදී එහි භාරකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ඊට අනුමැතිය ලබාගෙන ඇත්තේ එම භූමියෙහි වෘත්තීය පුහුණු ආයතනයක් ස්ථාපිත කරන මුවාවෙන් බව අනාවරණය වුණා.

    ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදීයි.

    ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුමැතිය ලබාදී ඇති බවත් විශ්වවිද්‍යාලය ස්ථාපිත කළ භූමිය සඳහා තවත් අක්කර 10ක් හිස්බුල්ලා මහතා අමාත්‍යාංශය නොමඟ යවමින් ලබා ගෙන ඇති බවත් මෙහිදී හෙළිවුණා.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම දින 17කට පසු ඊයේ යළි ආරම්භ වුණා.

    කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තිය සහ නිරෝධානයන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 26 වන දිනෙන් පසු එම කොමිසමේ කටයුතු තාවකාලිකව අත්හිටවූ අතර, පසුව එම කොමිසමේ පොලිස් ඒකකයට අනුයුක්ත කොළඹ අපරාධ කොට්ඨාස පොලිස් නිලධාරියකුට කොවිඩ් -19 ආසාදිත බවද තහවුරු වුණා.

    ඒ අනුව, ඊයේ දිනයේ සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත වූයේ එම පරිශ්‍රය විෂබීජහරණය කිරීමෙන් පසු කොමිසම් සභා ශාලාවට පිටතින් මාධ්‍යවේදීන්ට රැඳීසිටීමට පහසුකම් සළසා නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේයි.

    එහිදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සභාපතීත්වය දරණ ශ්‍රී ලංකා හීරා පදනම සහ මහත් ආන්දෝලනයකට තුඩු දුන් නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සාක්ෂි විමසනු ලැබූ අතර එම සාක්ෂිවලට සවන්දීමට හිස්බුල්ලා මහතාද ඊයේ පළමුවරට ජනාධිපති කොමිසමට පැමිණියා.

    කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ මහවැලි සංවර්ධන අධිකාරියේ ඉඩම් අධ්‍යක්ෂ අසංක කුමාර ගුණසේකර මහතායි.

    අසංක කුමාර ගුණසේකර - අධ්‍යක්ෂ, ඉඩම් - මහවැලි සංවර්ධන අධිකාරිය - " 2012.03.15 එවකට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි හිස්බුල්ලා මහතා එම අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය භාවිත කරමින් හීරා පදනම සඳහා මහවැලි ඩී කලාපයෙන් ඉඩම් අක්කර 25ක් ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා.

    මේ ඉල්ලීම නියෝජ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයෙන් යොමු කරලා තිබුණේ එවකට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට.

    මේ ඉඩම් අක්කර 25 හීරා පදනමට ඉල්ලා තිබුණේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ගොඩනැඟීම සඳහා කියලා ඒ ඉල්ලීම් ලිපියේ සඳහන් වෙනවා.

    මෙයට සෞදි අරාබියාවේ වෘත්තීය පුහුණු ආයතනයක් මුදල් අය නොකර ඉදිරි කටයුතු කරන්න සූදානම් බවත් එම ලිපියේ හිස්බුල්ලා මහතා සඳහන් කරලා තිබුණා.

    මෙම ලිපිය සලකා බලා එවකට අමාත්‍යවරයා මහවැලි ඩී කලාපයේ නේවාසික ව්‍යාපෘති භාර නිළධාරියාට සටහනක් යොදලා තිබෙනවා මේ සඳහා ඉඩම් ලබාදිය හැකිදැයි සොයාබලන්න කියලා.

    ඒ අනුව නේවාසික ව්‍යාපෘති භාර නිලධාරියා හිස්බුල්ලා මහතාගෙන් මහවැලි අධිකාරිය සඳහා ඉල්ලුම් පත්‍රයක් යොමුකරන්න කියලා කළ දැනුම් දීම මත හිස්බුල්ලා මහතා ඉල්ලුම් පත්‍රයක් භාර දි තිබෙනවා.

    නමුත් ස්වාමීනි කළින් ලිපියේ සඳහන් වූ ඉඩම් අක්කර 25 ගැන සඳහන් නොකර ඉඩම් අක්කර 35ක් හීරා පදනමට අවශ්‍ය බව තමයි මහවැලි සංවර්ධන අධිකාරියෙන් හිස්බුල්ලා මහතා දැනුම්දීලා තියෙන්නෙ.

    මේ ඉල්ලීමට අනුමැතිය ලැබුණට පසුව ඔවුන් විසින් හීරා පදනම කියන නම 'Batticaloa Campus' ලෙස වෙනස් කර තිබෙනවා ස්වාමීනි "

    රජයේ අධිනීතිඥවරයා - " වෘත්තීය පුහුණු ආයතනයක් ස්ථාපිත කරන්න දුන්න භූමියේ උසස් අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කරනවා කියන වෙනස්කමට මහවැලි අධිකාරිය අවසරය ලබාදී තිබෙනවා ද ?"

    අසංක කුමාර ගුණසේකර - අධ්‍යක්ෂ, ඉඩම් - මහවැලි සංවර්ධන අධිකාරිය - " ඔව් ස්වාමීනි.

    අරමුණ වෙනස් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා."

    රජයේ අධිනීතිඥවරයා - " කවුද ඒ කාලය තුළ මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ?"

    අසංක කුමාර ගුණසේකර - අධ්‍යක්ෂ, ඉඩම් - මහවැලි සංවර්ධන අධිකාරිය - " එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.

    එතුමා මේ සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා ස්වාමීනි "

    අනතුරුව සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවශ්‍යදැයි ජනාධිපති කොමිසම එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගෙන් විමසූ අතර, ඇසීමට ප්‍රශ්න කිසිවක් නැතැයි හිස්බුල්ලා මහතා සඳහන් කළා.

    මේ සම්බන්ධයෙන් සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් කරුණු පිළිබඳව ඉදිරි දිනකදී හිස්බුල්ලා මහතාගෙන් සාක්ෂි විමසන බව ජනාධිපති කොමිසම මෙහිදී ඔහුට දැනුම් දුන්නා.

    Latest News