මැනිං වෙළඳපොළ පෑලියගොඩට

නොවැ 13, 2020

    කොළඹ මැනිං වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමඟ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවළු ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන්කර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියක් මේ සඳහා වෙන් කර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අකුරටම පිළිපදිමින් ඉතා කඩිනමින් මැනිං වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කරන්නැයි අරලිය ගහ මන්දිරයේ පැවති පැවැති සාකච්ඡාවකදී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    පවතින කොවිඩ් වසංගතය හමුවේ ආසාදිතයින් වාර්තා වීම නිසා ඊයේ සිට නැවතත් මැනිං වෙළඳපොළ වසාදමා ඇති අතර, ඒ හේතුවෙන් එළවළු අලෙවිකරගැනීම සඳහා මැනිං වෙළෙඳ පොළට දිනකට පැමිණෙන එළවළු ලොරි 150ත් 200ත් අතර ප්‍රමාණයක් වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සිදුවී තිබෙනවා.

    කෘෂි නිෂ්පාදන සඳහා ගොවීන්ට හොඳ මිලක් ලබාදීමටත්, ඒ තුළින් එළවළු හිඟයක් නොවන ආකාරයට පාරිභෝගිකයාට අවශ්‍ය එළවළු ප්‍රමාණය සැපයීමටත් අපේක්ෂා කෙරෙන අතර පී.සී.ආර් පරීක්‍ෂණ සිදු කිරීමෙන් පසුව පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් නව වෙළඳපොළ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News