සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන් පැය 48ක් තුළ ගෙන්වා ගැනිමට ජනපතිගෙන් උපදෙස් (වීඩියෝ)

නොවැ 04, 2020
  • සෞදි අරාබියේ ආරක්‍ෂිත නිවාස 150ක රඳවනු ලැබ සිටින ශ්‍රී ලාංකිකයන් පැය 48ක් ඇතුළත දිවයිනට ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා බලධාරීන්ට නියෝග කර තිබේ.

    ඊට අදාළව ගතයුතු හදිසි පියවර සම්බන්ධයෙන්, ඊයේ දහවල් පැවති සාකච්ජාවකදී අවධානය යොමු කෙරුණු බව, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන්, සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ නේවාසික හා රැකියා අවස්ථා සඳහා දැඩි බලපෑම් එල්ල වී තිබේ.

    එරට ආරක්‍ෂක නිවාසවල රඳවා ඇති ශ්‍රී ලාංකිකයන් පිරිස, අවම වශයෙන් දිනකට ගුවන් ගමන් වාර දෙකක් බැගින් යොදවා, රැගෙන ඒමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව, මෙහිදී ප්‍රකාශ කෙරිණ.

    වෛරසයට ගොදුරු විය හැකි කණ්ඩායම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් දිනක් තුළ ඔවුන් කණ්ඩායම් වශයෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දී ඇති බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    ජනතාවට සලසන සෙසු පහසුකම් අතර රුපියල් 5,000 දීමනාව ලබාදීම, රෝගීන්ට ඖෂධ නිවසටම ලබාදීම, රුපියල් දස දහසක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාර්සල් ලබාදීම සහ හෝටල් නිරෝධායන ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් සාකච්ජාවට බඳුන් වූ කරුණු අතර වේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ විශේෂඥයන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on බදාදා, 04 නොවැම්බර් 2020 20:17

    Latest News