දිවයින පුරා පොහොර බෙදා හැරීම අද (04) සිට (වීඩියෝ)

නොවැ 04, 2020
  • කොරෝනා අර්බුදකාරී තත්වය හමුවේ වුවද දිස්ත්‍රික්ක 25ටම හිඟයකින් තොරව, කඩිනමින් පොහොර නිකුත් කරන ලෙස, රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

    කලකට පසු පොහොර රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී ඇත. පොහොර මෙට්‍රික් ටොන් 60,000ක ප්‍රමාණයක් ගොඩබෑමේ කටයුතු කොළඹ වරායේදී සිදු කෙරේ. ඉදිරි දින කිහිපයේ තවත් නෞකාවක් වරායට සේන්දුවීමට නියමිතයි.

    දිවයිනේ වගාකන්න ගණනාවක සිට පවතින පොහොර හිඟය නිසා, කෘෂි වැවිලි ක්‍ෂේත්‍රයන්හි ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටියහ.

    ඒ කෙරෙහි, ජනාධිපතිතුමාගේ අවධානය යොමුවීමත් සමඟ අවශ්‍ය රසායනික පොහොර ආනයනයට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබීය. කාබනික පොහොර දිවයිනේ ව්‍යාප්ත කොට රසායනික පොහොර භාවිතය අවම කිරීම නව රජයේ ප්‍රතිපත්තියයි.

    එම ඉලක්කය ළඟා කරගැනීමෙන් අනතුරුව රසායනික පොහොර ආනයනය අවම කෙරෙන අතර දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ රටට අවශ්‍ය  පොහොර රටතුළම නිෂ්පාදනය කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

    රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසු විපරම් ඒකකයක් මගින් පොහොර බෙදාහැරීම විධිමත් කිරීම කෙරෙහි දිනපතා ක්‍රියාමාර්ග ගනිමින් පවතී.

    Last modified on බදාදා, 04 නොවැම්බර් 2020 20:10

    Latest News