"සුරකිමු ගංගා" ඇරඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

නොවැ 04, 2020

    දිවයිනේ ගංගා 103කින් සමන්විත සමස්ත ගංගාධාර පද්ධතිය සංරක්ෂණය සඳහා “සුරකිමු ගංගා” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

    ඒ අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද සංදේශයට ඊයේ (03) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

    අප රටේ ජනතාවගේ සමස්ත ජල අවශ්‍යතා සම්පුර්ණ කරන ගංගා පද්ධතිය ආශ්‍රිත තව මේ වනවිට සිදුවන පරිසර දූෂණය වළක්වමින් සියලුම ගංගාධාර සංරක්ෂණයට පියවර ගැනීම මෙහි අරමුණ වේ.

    අප රටේ සමස්ත ගංගා පද්ධතියෙන් 80ක්ම අයත් වන්නේ වියළි කළාපයටය. ගංගා 103න් කිලෝමීටර් 100ට ආසන්න දිග ගංගා 16ක් තිබේ. දැනට සිදු කර තිබෙන ගණන් බැලීම් අනුව මෙම සමස්ත ගංගා පද්ධතියෙන් මුහුදට ඇදී යන ජල දහරාව කියුබික් ඝන මීටර් 55,000 ඉක්මවයි. අප රටේ විශාලතම හා දිගම ගග වන මහවැලි ගග ද්‍රෝණිය ශ්‍රී ලංකා භූමියෙන් 1/5ක් වන අතර එය වර්ග කිලෝමීටර් 10,800ක් පමණ වේ.

    මෙම ගංගාධාර ආශ්‍රිතව මේ වනවිට දැවැන්ත පරිසර දූෂණයක් සිදුවෙමින් පවතී. විශේෂයෙන් කැලණි ගඟ ආශ්‍රිතව ඇති කර්මාන්ත ශාලා, වෙනත් ආයතන හා මහජනතාව පදිංචි ස්ථානවලින් කාර්මික අපද්‍රව්‍ය මෙන්ම කැසිකිළි හා වැසිකිළි අඅපද්‍රව්‍ය ද මුදා හරින්නේ කැලණි ගඟට බව පෙනී ගොස් ඇත. අනෙකුත් නගරාසන්නව ගලා බසින ගංගාවල තත්ත්වයද එසේම බව පවසන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සුරකිමු ගංගා වැඩ පිළිවෙළ යටතේ එවැනි කටයුතු සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද කටයුතු කරන බව පැවැසීය.

    ගංගාධාර ආසන්නයෙහි යම් යම් කර්මාන්තශාලා හෝ වෙනත් ව්‍යපාරික ආයතන ඉදි කරන්නේ නම් ඒ සඳහා පරිසර වාර්තා ලබා ගත යුතුය. එහෙත් දැනට ඉදි කර තිබෙන සංචාරක හෝටල්, කර්මාන්තශාලා හා වෙනත් ව්‍යපාරික ආයතන බලන විට ඉන් සියයට 60කටත් වඩා බහුතරයකට පරිසර වාර්තා නොමැති අතර පරිසර වාර්තා ලබා ගෙන ඇති ඇතැම් ආයතන පවා ලබා දී ඇති නිර්දේශ අනුව කටයුතු කර නැති බව පෙනී ගොස් ඇත.

    මෙම සුරකිමු ගංගා වැඩ සටහන සඳහා රුපියල් කෝටි 3200ක් පමණ වැය කිරීමට අපේක්ෂිත අතර වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන දැවැන්තම සංවර්ධන ව්‍යපෘතිවලින් එකක් බවට මෙම ව්‍යාපෘතිය පත්වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

    සුරකිමු ගංගා ව්‍යපෘතිය පරිසර අමාත්‍යංශයේ හා මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ සෑම ගංගාවකම ජලය පානය කරන්නට සුදුසු පරිදි සකස් කිරීමට හැකි වුවහොත් එය මෙම ව්‍යාපෘතියේ සමස්ත ජයග්‍රහණයක් වනු ඇති බවයි.

    Latest News