ඉසුරුපාය හෙට (5) සිට යළි විවෘතයි

නොවැ 04, 2020

    Covid ආසාදිතයෙකු හමුවූ බවට ලැබුණු පුවතක් සමග තාවකාලිකව වසා දැමූ ඉසුරුපාය හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

    අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ(3) ලැබුණු පුවත අනුව විෂබීජහරණ කටයුතු සිදු කොට නැවත ආයතන පරිශ්‍රය රාජකාරි සඳහා සුදුසු තත්ත්වයට පත් කරන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය තාවකාලිකව වසා දමන ලද අතර, මේ වන විට සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් සහ සහාය අනුව සියලු විෂ බීජ හරණ කටයුතු අවසන් කොට තිබේ.

    ඒ අනුව, රට තුළ දැනට පවත්නා තත්ත්වය හමුවේ රජය හඳුන්වා දී ඇති නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදය සහ, ආයතන ප්‍රධානීන් විසින් ලැබෙන කැඳවීම් අනුව රාජකාරියට වාර්තා කිරීමේ පසුබිම හෙට සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සියලු කටයුතු සූදානම් කොට තිබේ.

    හඳුනාගත් covid19 ආසාදිත නිලධාරියාගේ ආශ්‍රිතයන් හය දෙනකු මේ වන විටත් නිරෝධායනයට යොමුකර ඇති බවත්, පසුගිය කාල වකවානුව තුළ ආයතන පරිශ්‍රයන්හි අඩු සේවක සංඛ්‍යාවක් රැඳී සිට ඇති නිසා ආශ්‍රිත සංඛ්‍යාව සීමා වී ඇති බවත් දැනට ඉසුරුපාය පරිශ්‍රය තුළ සියලුම ශාඛා විෂබීජහරණයට ලක් කොට ඇති හෙයින් රාජකාරි කටයුතු හෙට සිට පවත්වාගෙන යාමට පසුබිම සකස් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ජයම්පති අමරසේකර මහතා සඳහන් කළේය.

    Latest News