දීඝවාපි කැනීම් වලින් පුරාවස්තු මතුවෙයි

ඔක් 30, 2020

    දීඝවාපිය රජමහ විහාරස්ථානයේ චෛත්‍යය සංවර්ධන කටයුතු නැවත ආරම්භ කොට සතියක් ගතවන්නට පෙර සිදුකළ කැණීම් වලදී ලෝහමය මංජුසාවක තැන්පත්කල පබළු වලට සමාන පාෂාණ විශේෂයක් හමුවී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.

    පුරාවිද්‍යාඅධ්‍යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂනය මත පසුගිය 23 දින මෙම චෛත්‍යයේ සංවර්ධන වැඩ ආරම්භ කර තිබුණ අතර ‍මේ සඳහා කැණීම් ස්ථානභාර සංවර්ධන නිලධාරී සේනක චන්ද්‍රකුමාර මහතා ඇතුළු කැණීම් අංශයේ 11 දෙදෙනකු සහ සිවිල් ආරක්ෂක බලකායේ භට පිරිසක් සහභාගිවී සිටිති.

    මෙම පබළු පැරණි රජ සමයේ චෛත්‍යයේ දකුණු ‘ආයකය’ හදන අවස්ථාවේ ලෝහමය මංජුසාවෙහි තැන්පත් කර ඇති අතර පසුකාලීනව එම මංජුසාව දිරාපත්වන්නට ඇති බව විශ්වාස කෙරේ.

    කෙසේ වුවද එම ස්ථානයේ මෙම පුරාවස්තු ඉතා සූක්ෂම ලෙස තිබුණ ආකාරයටම නිදහස් කරගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

    ඒවා දීඝවාපිය විහාරස්ථානයේදී එදිනම මුද්‍රාතබා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

    මෙම පුරාවස්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාරයට යවා ඉදිරි කාලයේදී තොරතුරු අනාවරණය කර ගැනීමට පියවර ගන්නා බව පැවසේ.

    Latest News