දිස්ත්‍රිකක් 24 ක කොවිඩ් - කිලිනොච්චිය තවමත් නිදහස්

ඔක් 30, 2020

    මෙරටින් ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 586 ක්.

    ඉන් 467 කු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රතව වාර්තා වනූ රෝගීන්ගේ සමීපතමයින්.

    නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 115 දෙනෙකු සහ විදේශයන්හී සිට පැමිණි නාවිකයින් සිව් දෙනෙකු සෙසු පිරිසට ඇතුළත්.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු 4142 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටින අතර, එම ප්‍රතිශතය 42.30 ක්.

    5630 කු ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    එම ප්‍රතිශතය 57.50 ක්.

     

     

    වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 2960 ක්.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා රෝගීන් 1760 ක් වාර්තාවී තිබේ.

    දිස්ත්‍රික්ක 24 කින් රෝගීන් හඳුනා ගෙන ඇති අතර, රෝගීන් වාර්තා නොවන්නේ, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් පමණයි.

     

     

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6145 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ (29) දිනය තුළ පමණක් ආසාදිතයින් 586 දෙනෙකු හඳුනාගැණුනි.

    ඔවුන්ගෙන් 115 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන ඇති බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

    ආසාදිතයින් 467 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ සහ ධීවර වරායන් ආශ්‍රිතව හඳුනාගෙන තිබේ.

    ඉන් 50 දෙනෙකු මීගමුව ධීවර වරාය ආශ්‍රිතව හඳුනාගෙන ඇති බව, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු සහ ඉන්දුනීසියානු නාවිකයින් තිදෙනෙකු ආසාදිතයින් බවට ඊයේ හඳුනාගෙන තිබුණි.

    ඒ අනුව, මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 9791 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඔවුන්ගෙන් 5630 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

     

     

    කොළඹ නැව් තටාංකාංගණයේ සේවය කර කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ බණ්ඩාරවෙල හපුතලේ පදිංචි පුද්ගලයෙකුගේ බිරිඳට, දියණියට සහ බිරිඳගේ පියාට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී තිබේ.

    සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වලින් අනතුරුව වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවූ බවයි.

    එසේම ගම්පහ ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන ගිරාඳුරුකෝට්ටේ, උල්හිටිය, මහවැලි ගම්මානයේ පදිංචි කාන්තාවකට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී තිබේ.

    සෞඛ්‍ය අංශ පැවසුවේ, ඇය ඩෙංගු රෝගය වැළඳී මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබා අනතුරුව තම ගම්මානයට ගොස් ඇති බවයි.

     

     

    මේ අතර, පින්නවල පිහිටුවා ඇති බ්‍රැන්ඩික්ස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි 221 ක් දෙනා අද (30) සාලාව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබුණි.

    කෙසේ වෙතත් එම පිරිස එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ තමන්ගේ දෙවැනි පී.සී.ආර්. වාර්තා පැමිණෙන තෙක් මෙම ස්ථානයෙන් පිටතට යාමට නොහැකි බව පවසමිනි.

    ඉන් ටික වේලාවකට පසුව ලැබුණු පී.සී.ආර්. වාර්තා වලින් තහවුරුවී ඇත්තේ, එම පිරිසගෙන් 25 දෙනෙකුට වෛරසය ආසාදනයවී ඇති බවයි.

    මේ අතර, කඩවත, රන්මුතුගල වැවහේන ප්‍රදේශයේ කොවිඩ් - 19 වෛරසය වැළඳි කාන්තාවක් රැගෙන යාමට පැමිණීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණි.

    ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැනුම්දීමට අනුව එහි පැමිණි පොලිස් නිලධාරීන් සහ එම කාන්තාවගේ පුත්‍රයා සමගයි.

    කෙසේ වෙතත් විරෝධය මධ්‍යයේ වෛරස් ආසාදිත කාන්තාව රැගෙනයාමට සෞඛ්‍ය අංශ මෙහිදී පියවර ගත්හ.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීම සඳහා ගොස් වෛරසය ආසාදනයවී ඇති මෙම පවුලේ පියාද මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    මේ අතර වැල්ලවත්ත, කොලින්වුඩ් පටුමගේ තාවකාලිකව පදිංචිව සිටි හැත්තෑ හැවිරිදි ඉන්දීය ජාතිකයෙකුට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බව පොලීසිය පවසයි.

     

     

    ගල්කිස්ස හෝටලයක ජර්මන් ජාතික සූපවේදියෙකුගේ රියදුරුට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී තිබේ.

    ඔහු පසුගිය 25 වැනි දින කළුබෝවිල රෝහලෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඊයේ දිනයේදී ඔහුට වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු විය.

    අදාළ පුද්ගලයා කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

     

     

    මේ අතර අනුරාධපුර මහමංකඩවල පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත රියදුරෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී තිබේ.

    පසුගියදා නිවාඩු ලබා නිවසට පැමිණි මෙම සෙබළාට දැනගැනීමට ලැබී ඇත්තේ තමන්ගේ ප්‍රධානියාට වෛරසය ආසාදනයවී ඇති බවයි.

    ඒ අනුව මොහු ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ පිළිබඳව දැනුම්දීමෙන් පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 02 දී වෛරසය ආසාදනයවී ඇති බව අනාවරණවී තිබේ.

     

     

    යටිටන්තොට ගල්පාත, එගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබේ.

     

     

    හැටන් කොටගල ඩ්‍රෙටන් වතු යායෙන් කොවිඩ් - 19 වෛසරය අසාදනය වු රෝගින් දෙදෙනෙකු හමුවෙයි.

    හැටන් කොටගල ඩ්‍රෙටන් තේ වතු යායේ සහ කොටගල නගරයේ නිරෝධානයට ලක් කර තිබු පැලියගොඩ මත්ස්‍යය වෙළඳපොලේ සේවය කල සේවකයෙකුට සහ ඔහුගේ ආශ්‍රිතයෙකුට කොවිඩ් - 19 වෛසරය (30) දින අසාදනයවී ඇති බව පී.සී.ආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු වු බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසීය.

    පැලියගොඩ මත්ස්‍යය වෙළඳපොලේ කම්කරුවෙකු වශයෙන් සේවය කල සේවකයා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් සිව්දෙනෙකු කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධානයට යොමු කර තිබුණි.

    කොවිඩ් - 19 වෛරසය අසාදනයවී තිබු කොටගල ඩ්‍රෙටන් වත්තේ (30) දින හමුවු රෝගියාගේ පෙර ආශ්‍රිතයා ද පැලියගොඩ මත්ස්‍යය වෙළඳපොලේ සේවකයෙකු වන අතර, එම රෝගියා දැනට කන්දකාඩු යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටී.

    කොවිඩ් - 19 රෝගය වැලදුණු නව ආශ්‍රිතයන් දෙදෙනා නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගන්නා බවයි, මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

    මේ හේතුවෙන් කොටගල නගරය ද තවදුරටත් වසා දැමේ.

     

     

    හැටන් ප්‍රදේශය සිව්වෙනි දිනටත් හදුකලා කෙරේ.

    345 දෙනෙක් ස්වයං නිරෝධානයට යොමු කෙරේ 50 දෙනෙකුගේ පී.සී.ආර් වාර්තාවන් ලබා ගැනේ.

    කොවිඩ් - 19 වෛරසය අසාදනය වු 11 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමත් සමග හැටන් නගරය සිව්වෙනි දිනටත් හුදකලා කර නගර විෂබිජහරණයට ලක්කිරීම (30) දින සිදු කෙරිණ.

    හැටන් ප්‍රදේශයේ 345 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඉන් පනස් දෙනෙකුගේ (29) දින පී.සී.ආර් පරික්ෂණයට යොමු කිරීමට අඹගමුව කොවිඩ් - 19 ප්‍රාදේශීය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුහ.

    පැලියගොඩ මත්ස්‍යය වෙළඳපොලේ ආශ්‍රිතයන්ගෙන් හැටන් ප්‍රදේශයට කොවිඩ් - 19 වෛරසය අසාදනයවී ඇති අතර, බගවන්තලාව, මස්කෙලිය, කොටගල, තලවකැලේ, ආගරපතන, පුඩළුඔය සහ හගුරන්කෙත යන ප්‍රදේශ වලින් කොවිඩ් - 19 වෛරසය අසාදනය වු රෝගීන් හමුවී ඇත.

    පවතින කොවිඩ් - 19 වෛරස අවධානම හමුවේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ සංචාරය නොකරන ලෙස දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඉල්ලා සිටී.

     

     

    මේ අතර, ශ්‍රි ලංකා යුධ හමුදා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ හමුදා භටයින් සිව්දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය අසාදනයවීම නිසා කොළඹ පිහිටි යුධ හමුදා කඳවුර විෂබිජහරණයට ලක් කිරීම සඳහා එහි භට පිරිස් තාවකාලිකව හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨයට ගෙන ගොස් තිබේ.

    හැටන් ප්‍රදේශය හුදකලා කෙරුණද තේ වතු ආශ්‍රිතව තේ දළු නෙලිමේ කටයුතු සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන බවයි, වතු අධිකාරීවරුන් කියා සිටියේ.

     

     

    බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකුට කොරෝනා ආසාධනයවී ඇතැයි බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

    මෙම පොලිස් නිලධාරියා කොළඹ ප්‍රදේශයේ රාජකාරීවල නිරත අයකු බවද එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණවල වාර්තා අනුව ඔහු කොරෝනා ආසාධිතයකු බවට ඊයේ(29) හඳුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

    මෙම පුද්ගලයා බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසට පැමිණ ඇති අතර, මේ හේතුවෙන් ඔහු ආශ්‍රය කළ නිවාස පහක පුද්ගලයන් 26 දෙනකු නිරෝධායනය කිරීමට බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු පියවර ගත්හ.

    ඔහු ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත යැවීමටද නිලධාරිහු පියවර ගත්හ.

    ඔහුගේ ආශ්‍රිතයන් සොයා සෞඛ්‍ය නිලධාරිහු තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරති.

     

     

    බදුල්ල දුම්රිය නැවතුම් පොල ඉදිරියේ ඇති ඉරිදා පොළ ලබන ඉරිදා (1) නොපැවැත්වීමට බදුල්ල මහ නගරසභාව තීරණය කර තිබේ.

    පවතින කොවිඩ් අවදානම නිසා මේ තීරණය ගත් බව බදුල්ල මහා නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා පැවසීය.

     

     

    බස්නාහිර පළාත තුළ පොලිස් ස්ථානවලට අනියුක්ත තවත් පොලිස් නිලධාරීන් 21 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇතැයි තහවුරුවී තිබේ.

    ඒ අනුව බස්නාහිර පළාතෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිත පොලිස් නිළධාරීන් ගණන 43 දක්වා ඉහළ ගොස් ඇත.

    නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිලධාරීන් 122 දෙදෙනෙක් යොමුකර ඇති අතර, නිලධාරීන් 771ක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

     

     

    කොළඹ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරිනියකටත් කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇතැයි තහවුරු වු බව එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේය.

    ඇයගේ ස්වාමි පුරුෂයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කර ඇති බව වාර්තා වේ.

    කෙසේවෙතත් ඔහුට සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත අතර වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය මේ වනවිට රෝහල්ගත කර තිබේ.

    මේ හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 25 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විෂබීජහරණයට ලක්කර එහි රාජකාරී කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

     

     

    පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ රාජකාරි වලට අනියුක්ත කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

    ඔහු කොමිසම් සභාවේ සාක්ෂි විමසීමේ කටයුතු පැවැත්වෙන ශාලාවටද පැමිණෙන්නෙකු ලෙසද හදුනාගෙන ඇති අතර තවත් නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    ඔහුගේ PCR වාර්තා මෙතෙක් ලැබි නොමැති බව ද වාර්තා වේ.

    මේ පිළිබද කොමිසම් සභාවේ පොලිස් ඒකකය විසින් සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබේ.

     

     

    කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවය කළ බන්ධනාගාර නියාමකවරයකුට කොවිඩ් - 19 වයිරසය ආසාදනයවී ඇති බව ඊයේ (29 ) තහවුරු වී ඇත.

    ඔහුට සිදු කළ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන්ද මේ බව තහවුරු වී තිබේ.

     

     

    රත්නපුර මහ රෝහලේ දරු ප්‍රසුතිය සිදුකළ මවකට කොරෝනා ආසාදනයවී ඇති බව තහවුරුවී තිබේ.

    මෙම මව සිසේරියන් සැත්කමක් මගින් දරුවෙකු බිහිකර ඇති අතර දරු ප්‍රසුතිය අවස්ථාවේදී කටයුතු කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙන්ම විකිරණ ඒකකයේ සේවකයින් පිරිසක් ද නිරෝධායනය සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

    මෙම මව විසින් බිහිකල දරුවා සෞඛ්‍යාරක්ෂිතව සිටින බව රත්නපුර ශික්ෂණ රෝහලේ බලධාරීන් පවසයි.

    කොරෝනා ආසාදිත මව කොළඹ IDH රෝහලට ඊයේ (29) ඇතුළත් කර තිබේ.

    රත්නපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකු සහ එම කාන්තාවගේ පවුලේ කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇත.

    ඇයගේ සැමියා කොළඹ වරායේ පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ රාජකාරි නිරත අයෙකු වන අතර, ඔහු රත්නපුර බටුගෙදර පිහිටි නිවසට පසුගිය සතියේදී පැමිණ ගොස් ඇතැයි හෙළිවී තිබේ.

    ඔහු රත්නපුර නගරයේ වෙළෙදසැල් දෙකකට ගොස් ඇති අතර, එම වෙළෙදසැල් දෙකද වසා දමා එහි සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

     

    තලවකැලේ පුඩළුඔය, වටගොඩ, කොත්මලේ යන ප්‍රදේශ වලින් කොවිඩ් - 19 වෛසරය ආසාදනය වු රෝගීන් කිහිපදෙනෙකු හමුවීම නිසා තලවකැලේ පුඩළුඔය නගරයට වතු කම්කරුවන් සංචරණයවීම නතර කිරීම සඳහා පුඩළුඔය නගරය දින කිහිපයක් වසා දැමීමට එම නගරයේ වෙළද සංගමය අද (30) දින සිට කටයුතු කර ඇත.

    කොවිඩ් - 19 වෛරසය අසාදනය වු එම ප්‍රදේශයේ රෝගීන් මේ වනවිට නිරෝධාන මධ්‍යයස්ථාන කරා යොමු කර ඇති අතර, එම රෝගීන්ගේ පවුල්වල සමාජිකයන් විශාල පිරිසක් ඔහුන්ගේ නිවාසවල මේ වනවිට ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

    පුඩළුඔය නගරය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කර කොවිඩ් - 19 වෛරසය වතු ආශ්‍රිත ප්‍රදේශ වලින් පැතිර යාමේ අවධානම පහවයාමෙන් පසු පුඩළුඔය නගරයේ වෙළඳසැල් විවෘත කර තැබේ.

     

     

    කුරුණෑගල මහ නගර සභාව මඟින් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් නගර සභාවේ කම්කරු සේවකයින් 06 දෙනෙකු සමඟ මාළු ව්‍යාපාරිකයන් 02 කු කොරෝනා ආසාදිතයින් බවට අද තහවුරු වීම සැළකිල්ලට ගෙන කුරුණෑගල නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නියම කළ බව නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.

    කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයේ කම්කරු නිවාස පද්ධතියේ පදිංචිව සිටින කුරුණෑගල මහ නගර සභාවේ කම්කරුවන් 17 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව ඉන් 06 දෙනෙකුම කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

    මීට අමතරව පරීක්ෂාවට ලක් කළ යන්තම්පළාව සහ උඩවල්පොළ ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයන් දෙදෙනෙකුද ආසාදිතයින් බවට තහවුරුවී ඇත.

     

     

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලා වලින් මේ වනවිට කොවිඩ් - 19 ආසාදිතයින් 423 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ඉන් 411 දෙනෙකු කටුනායක කලාපයෙන් සහ අනෙක් 12 දෙනා බියගම කලාපයෙන් හඳුනාගත් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    Last modified on සිකුරාදා, 30 ඔක්තෝබර් 2020 15:52

    Latest News