ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹේ

ඔක් 28, 2020

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් ජනාධිපති කාර්යසාධක බලකාය හා ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍ය වරයාගේ මගපෙන්වීමෙන් කැබිනට් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව “ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන” ආරම්භ කෙරේ.

    ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කළ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ නව රජයෙන් ග්‍රාමීය ජනතාව වෙත සෘජුවම හා කඩිනමින් ප්‍රතිලාභ ගෙන යාමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙයි.

    ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමේ ජාතික වැඩසටහන සඳහා පත්කරනු ලැබූ ප්‍රධාන කමිටු 04 අතරින් සාමජයීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ නිල වැඩකටයුතු ඊයේ (27) පෙරවරුවේ අනුරාධපුර උතුරුමැද පළාත් සභා ශාලාවේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය.

    “සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව” සඳහා කැබිනට් අමාත්‍යාංශ 03 ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 09 ක් සම්බන්ධ වේ.

    • කැබිනට් අමාත්‍යාංශ

    1. අධ්‍යාපන අමාත්‍යාංශය
    2. සෞඛ්‍ය අමාත්‍යාංශය
    3. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය

    • රාජ්‍ය අමාත්‍යාංශ

    1. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
    2. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
    3. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්‍යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
    4. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය
    5. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය
    6. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
    7. දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය
    8. ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය.
    9. ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.

    ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමේ ජාතික වැඩපිළිවෙළෙහි සාමාජයීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ නිල වැඩකටයුතු ආරම්භ කරමින් අදහස් දැක්වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය අමාත්‍යාංශවල ක්‍රියාකාරීත්වය රාජ්‍ය යාන්ත්‍රණය තුළින් ගම් මට්ටමට ගෙන යාමට අවශ්‍ය සම්බන්ධීකරණය සඳහා මෙම කමිටු 04 ක්‍රියාත්මක වන බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා - දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ප්‍රදේශවල හඳුනාගත් ජන ගැටලු සඳහා විසඳුම් ලබාදීම කඩිනම් කිරීමට රජය පියවර ගැනේ.

    එමෙන්ම ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය උදෙසා 2021 වසරේ අය වැය සඳහා වෙන් කර ඇති මුදල් යෙදවීම කෙසේ සිදු කළ යුතුද යන්න හඳුනා ගැනීමටත්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා හඳුනාගත් ක්ෂේත්‍රයන් 04 ඔස්සේ අවශ්‍ය තොරතුරු ලබාගැනීමට කටයුතු යොදා තිබේ.

    Latest News