ගම්පහ ප්‍රදේශ කිහිපයක ඇදිරි නීතිය ඉවත් කරන්න සූදානම් - යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

ඔක් 28, 2020

    කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇති බව, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඉන් 202 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර, අනෙක් 9 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන තිබේ.

    එම 202 දෙනාගෙන් 140 දෙනෙක් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වලින් හමුවූ බව සඳහන් වේ.

    ඒ අනුව, මේ දක්වා මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 5,607කි.

     

    ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 457 දෙනා ගෙන් බහුතරයක් එනම් ආසාදිතයින් 220 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

    මීට අමතරව

    කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 183 දෙනෙක්,

    කළුතර දිස්ත්‍රික්කයෙන් 16ක්,

    ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක්,

    හම්බන්තොට 02ක්,

    රත්නපුර දිස්ත්‍රික්කයෙන් 05ක්,

    මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 01ක් ආසාදිතයා බැගින් වාර්තා වනවා.

    මීට අමතරව නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක්,

    බදුල්ල දිස්ත්‍රික්කයෙන් 05ක් 

    කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 03ක් වාර්තා වේ.

     

     

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් - 19 පොකුරෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින්ගේ ගණන 5400 සීමාවට ලඟාවී තිබේ.

    ඒ ඊයේ (27) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 457 දෙනාද සමගයි.

    එසේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 10 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර, අනෙක් ආසාදිතයින් 447 දෙනා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

    ඒ අනුව, මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 5395ක් දක්වා ඉහළ ගොස් තිබේ.

     

     

    මෙරට සමස්ථ කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව ද මේ වනවිට 8770 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අත, ඉන් රෝගීන් 4043 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව, රෝගීන් 4808 දෙනෙකු තවදුරටත් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

    පසුගිය දින 06 තුළ පමණක් කොවිඩ් - 19 ආසාදිතයින් 2883 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මෙරටින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය 23 වනදාය.

    මේ අතර ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් මරණ තුනක් මෙරටින් වාර්තා විය.

    එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම මරණ තුනෙන් අවසන් වරට වාර්තා වු මරණ දෙක පිළිබඳව ඊයේ රාත්‍රී නිවේදනයක් නිකුත් කළේය.

    එහි සඳහන් කළේ, මෙහිදී මියගිය පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිට ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා තහවුරු කර ඇති බවයි.

     

     

    වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම, මොරටුව, පානදුර උතුර සහ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වී‍මේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

     

     

    තලවකැලේ, වටගොඩ නගරය අද (28) දහවල් සිට වසා දැමීමට පියවර ගෙන තිබේ.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොලට සම්බන්ධ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු වටගොඩ වත්තේ යොක්ස්පෝඩ් කොටසින් හමුව ඇති අතර එම ආසාදිත පුද්ගලයා වටගොඩ නගරයේ බොහෝ ස්ථාන වලට ගොස් තිබීම හේතුවෙන් නගරයේ කඩ සාප්පු හා අනෙකුත් ව්‍යාපාරික ස්ථාන මෙසේ වසා දැමීමට කොටගල ප්‍රාදේශීය සභාව විසින් පියවර ගෙන ඇත.

    වසා දැමු වටගොඩ නගරය හා ආසාදිත පුද්ගලයා ගැවසී ඇති අනෙකුත් ප්‍රදේශයන් විෂබීජ හරණය කිරීමටද කොටගල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය විසින් පියවර ගන්නා ලදි.

     

     

    රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17න් කොවිඩ් - 19 ආසාදිතයන් 30ක් හමුව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    රත්නපුරෙන් නව දෙනෙක්, ඇහැළියගොඩින් අට දෙනෙක්, කිරිඇල්ලෙන් සිවු දෙනෙක්, ඇලපාත, කහවත්ත සහ ඇඹිලිපිටිය යන කොට්ඨාස වලින් දෙදෙනා බැගින් ආසාදිතයන් හයදෙනෙක් වාර්තාවී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

    කුරුවිට, අයගම සහ ගොඩකවෙල යන කොට්ඨාස වලින් එක් ආසාදිතයා බැගින් ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇත. රත්නපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍යවරයා පවසනුයේ කොරෝනා රෝගය රත්නපුර දිස්ත‍්‍රික්කයේ ව්‍යාප්තිය පාලනය කිරිමට මේ වනවිට පුද්ගලයින් 2000කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකර අවශ්‍ය අයගේ පීසීආර් පරීක්‍ෂණ කඩිනමින් සිදුකරන බවයි.

     

     

    කොරෝනා ආසාදිතයකුගේ සහභාගිත්වයෙන් විවාහ මංගල උත්සවයක් පැවැත් වූ දැල්තර පැරඩයිස් නමැති හෝටලයට මුද්‍රා තබා ඇත.

    මංගල උත්සවය පැවැත්වෙන අවස්ථාවේ කොරෝනා ආසාදිතයකු ඊට සහභාගිවී සිටින බවට ලද තොරතුරු මත එම ස්ථානයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා වන ලෙස එහි සිටි පුද්ගලයන් හැසිරී ඇත.

    කොවිඩ් වැලඳී ඇත්තේ මනමාලයාගේ පියාට බව එහිදී අනාවරණයවී ඇත.

    හෝටලයට මුද්‍රා තැබීමෙන් අනතුරුව එම විවාහ උත්සවයට සහභාගි වූ 130කට ආසන්න පිරිසක් සිය නිවෙස්වලම නිරෝධායනයට ලක් කර ඇත.

    කොවිඩ් ආසාදිත මනාලයාගේ පියා විවාහ උත්සවයේ ආරාධනා පත්‍ර බෙදීමටද නිවාස රැසකට ගොස් ඇති බවද පසු දින විවාහ උත්සවය පැවැති පානදුර ප්‍රදේශයේ හෝටලයටද ගොස් ඇති බවද අනාවරණයවී තිබේ.

     

     

     

    වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුදෙකලා කර තිබෙන මාකලන්දාව ග්‍රාම සේවා වසමේ පදිංචි කාන්තාවකට සහ ඇයගේ මාස තුනක දියණියට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව ඊයේ (27 වැනිදා) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව සනාථවී ඇතැයි වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරල පැවසීය.

    පසුගියදා මතුගම බස් පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් වලල්ලාවිට මගුරුමස්විල පදිංචි ආසාදිත පුද්ගලයකුගේ ආශ්‍රිතයන් අතරින් මෙම නව ආසාදිතයන් දෙදෙනා වාර්තාවී ඇතැයි, වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මල්කා ගුණසිංහ පැවසුවාය.

    පසුගිය 24 වැනිදා මාකලන්දාව පාසල් භූමියේදී පීසීආර්. පරීක්ෂණ සඳහා ජෛව සාම්පල් 59 ක් ලබාගත් බවත්, ඒ අවස්ථාවේ දී ජෛව සාම්පල් ලබා දීමට අකැමැති වූ අය අතරින් මෙම ආසාදිතයන් දෙදෙනා වාර්තා වූ බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

    වලල්ලාවිට සෞඛ්‍ය බල ප්‍රදේශයේ තවත් හුදෙකලා ගම්මානයක් වන ගුලවිට ග්‍රාම සේවා වසමේ පසුගිය 23 වැනිදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 41 ක වාර්තා ද ලැබීමට නියමිතව ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.

     

     

    නාවික හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇත.

    වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලට ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

    මෙම ක්‍රීඩකයා වැලිසර කඳවුරට අනුයුක්තව සිටියදී කොරෝනා වයිරසය පැතිරයාමත් සමග එහි සිටි සියලුම ක්‍රීඩකයන් නිවෙස්වලට යැවීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

    මාස තුනකට අධික කාලයක් මොහු නිවසේ සිට ඇති බව හමුදාව පවසයි.

     

     

    පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවී ඇතැයි තහවුරුවී තිබේ.

    පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ එම ආසාදිතයා සෑම දිනකම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවයි.

    රියදුරු රැකියාවට අමතරව එම ආසාදිතයා කුලී ගමන් යන අතර, ඒ අනුව ඔහු පෑලියගොඩ මාළු වෙළෙද සංකීර්ණයට ගොස් ඇත.

     

     

    යාපනයේ ගම්මානයන් දෙකකට පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කරමින් සීමා පනවා තිබේ.

    ඒ අනුව යාපනය ගුරුනගර් සහ පාසෙයිඌර් යන ගම්මාන වලට ඇතුළුවන මාර්ග අවහිර කරමින් සීමා පැනවීමට පොලීසිය, සෞඛ්‍ය නිලධාරීන් සහ යුද හමුදාව කටයුතු කර ඇත.

    අදාළ ගම්මානවල පදිංචි මාළු ව්‍යාපාරකයින් දෙදෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

    මොවුන් පෑලියගොඩ මාළු වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇත.

    එහිදී තහවුරු වී ඇත්තේ මොවුන්ට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවයි.

     

     

    යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඳුනාගන්නා තුරු ගුරුනගර් සහ පාසෙයිඌර් යන ගම්මාන සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ද දැනුම් දුන් බවයි.

     

     

    රට තුළ උද්ගතව පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල ක්‍රියාත්මක සියලු ම අධිකරණ සේවා කටයුතු වලින් අද (28) දිනයේ සිට ලබන 01 දින දක්වා ඉවත් වීමට තීරණය කළ බව කුරුණෑගල නීතීඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළේය.

    ඊයේ (27) පස්වරුවේ රැස්වූ කුරුණෑගල නීතීඥ සංගමයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගත් බවද ඒ අනුව කුරුණෑගල මහාධිකරණය, කුරුණෑගල දිසා අධිකරණය, අතිරේක දිසා අධිකරණය, කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය සහ දිස්ත්‍රික් කම්කරු විනිශ්චය සභාව යන අධිකරණවල නීතීඥ කටයුතු වලින් නීතීඥවරුන් තාවකාලිකව ඉවත් වන බවද නීතීඥ පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළේය.

     

     

    නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස්බල ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් හා ඖෂධහල් සතියට දින 2ක් විවෘතව තැබීමට අවසර ලබා දී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනුව, නියමිත දින දෙක තුළදී උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා වෙළඳසැල් හා ඔසුසල් විවෘතව තැබෙනු ඇත.

    ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ, කොළඹ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අදාළ දින පහත පරිදි වේ.

    Last modified on බදාදා, 28 ඔක්තෝබර් 2020 19:20

    Latest News