අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ජනපති හමුවෙයි

ඔක් 28, 2020

    ඉන්දියානු සංචාරය නිමවා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියේය.

    රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස රාත්‍රි 07.35ට පමණ අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් බෝයින් 757 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බව වාර්තා වේ.

    අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස අමෙරිකානු තානාපති කාර්යාලයේ නිළධාරින් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය.

    මෙරට නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

    වසංගත තත්ත්වයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදභාවයෙන් යුත් වෙළඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙම හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

    තානාපති කාර්යාල ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම හමුවේදී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා පොදු කැපවීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බවයි.

    අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාද පැවැත්විණ.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම සාකච්ඡා පැවැත්විය.

     

    Latest News