එතනෝල් ලීටර් 15,000ක් රේගු අත්අඩංගුවට

ඔක් 20, 2020

    ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් සිදුකළ විමර්ශනයකට අනුව, නයිලෝන් මිශ්‍රිත ටයර් රැහැන් රෙදි බව හඟවමින් චීනයේ සිට ආනයනය කළ එතනෝල් බැරල් 80 ක් එනම් ලීටර් 15,308ක් සහිත කන්ටේනරයක් රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

    චීනයේ සිට ග්‍රීන් චැනල් සමාගමක නම ව්‍යාජ ලෙස භාවිත කළ මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් එම එතනෝල් තොගය ගෙන්වා ඇත.

    2019 වර්ෂයේ මැයි මාසයේ දී එම එතනෝල් සහිත කන්ටේනරය මෙරටට ගෙන්වා ඇති අතර, ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය දීර්ඝව සිදුකළ විමර්ශනයකින් පසුව එහි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම එතනෝල් තොගය වංචනික ලෙස ගෙන ඒම තුළින් ශ්‍රී ලංකා රජයට මිලියන 20ක පාඩුවක් සිදුව ඇති බව මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා මහතා පවසයි.

    එතනෝල් තොගය රාජසන්තක කර ඉන්අනතුරුව ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් රජයට බැර කිරීමට කටයුතු කරන බව රේගුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

    මෙහි දී ලබාගත් එතනෝල් සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට කටයුතු කරන බව ද රේගු බලධාරීන් පැවසීය.

    Latest News