රියාජ් බදියුදීන් සම්බන්ධ පෙත්සමේ අතුරු නියෝගය හෙට(21)

ඔක් 20, 2020

    රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වාලනවාද ? නැත්ද ? යන වග අතුරු නියෝගය හෙට ( 21) ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය අද (20) තීන්දු කළේය.

    පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් මහතා ගොනු කළ රිට් පෙත්සම සළකා බලමින් අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශයට පත් කරන ලදී.

    මෙම පෙත්සම මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.

    එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස්, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිහිඳු අබේසිංහ ඇතුළු හත් දෙනෙකු නම් කරනු ලැබ ඇත.

    නීතිපති ගෞරී සංගරි තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනු කළ මෙම රිට් පෙත්සමින් පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මස 14 වැනිදා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත දීර්ඝ කාලයක් රඳවා තබා පරීක්ෂණ සිදුකළ බවයි.

    අදාළ කාලසීමාව තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් තමාට හිමි නිවාස, දේපොළ, ව්‍යාපාර, බැංකු ගිනුම් යනාදිය පිළිබඳව පුළුල් අයුරින් විමර්ශන සිදුකළ බව පෙන්වා දෙන රියාජ් බදියුදීන් මහතා එහිදී තමාට එරෙහිව කිසිදු අපරාධමය චෝදනාවක් තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවීම හේතුවෙන් තමන් මුදාහැරීමට එම දෙපාර්තමේන්තුව ක්‍රියා කළ බව කියා සිටී.

    එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 11 වැනිදා යළිත් සිය බිරිදගේ මවගේ නිවසට ගොස් සෝදිසියට ලක් කර ඇතැයි, පෙත්සම්කරු පවසයි.

    Latest News