ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

පෙබ 24, 2025
    ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තුන් දෙනෙකු මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    කොළඹ අපරාධ කොට්ඨාශයේ බාරයේ සිටි මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

    කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියා.
    එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අදාළ සැකකරුවන් මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.
    මෙම සැකකරුවන් අතරින් දමිදු දිල්ෂාන් නොමැති සැකකරු වෙඩිකරුට වෙඩි තැබීම සඳහා වශ්‍ය ගිනි අවිය ලබාදීමට ආධාර අනුබල දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.
    ඊට අමතරව දමිත් නයනජිත් සහ චමෝද් ගිම්හාන් යන සැකකරුවන් දෙදෙනා ම වෙඩික්කරු සහ ඔහුට සහාය වූ කාන්තාවට මීගමුව ප්‍රදේශයේදී ප්‍රවාහන පාසුකම් ලබාදී රෙදි මිලදී ගැනීමට සහාය වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයිද පොලිසිය සඳහන් කර සිටියා.
    කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ ඔහු රැගෙන ගිය රියදුරු රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබා ගත් රැඳවුම් නියෝගයක් මත දින අනුවක් පොලිසියභාරය රඳවාගෙන ප්‍රශ්න කරන බව සඳහන් කළා.
    මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන බවත් පොලිසිය පැවසුවා.
    මෙහි ප්‍රධාන සැකකාර වෙඩික්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන වලට අනුව මසකට වරක් සැකකරු පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත්තුමියට බලය පැවරී තිබෙන බව සඳහන් කළා.
    ඊට අමතරව සැකකරු රඳවා තිබෙන ස්ථානය මාරු කරන්නේ නම් හෝ විමර්ශන කටයුතු සඳහා ඔහු පිටතට රැගෙන යන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට මීට පෙර නිකුත් කරනු ලැබූ නියෝගය ඒ ආකාරයෙන්ම දීර්ඝ කන ලෙසත් නීතිඥවරයා මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා.
    වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ අජිත් පතිරණ මහතා තම තම සේවා දායකයාගේ කං අඩි පිපිරීමක් සිදුවී ඇති බවත් එය පොලිසිය භාරයේ සිටියදී සිදුවූවක් නොවන බවත් සඳහන් කර සිටියා.
    ඒ සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල නොකරන බව පැවසූ නීතිඥවරයා ඔහුට අවශ්‍ය ප්‍රතිකාර පොලිසිය මාර්ගයෙන් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලීමක් කළා.
    පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය cctv දර්ශන පොලිසිය වෙත ලබාදීමට පියවර ගන්න ලෙසත් අධිකරණයේ ලේඛකාධිකාරිට නියම කළා.
     

    Latest News