දූෂණ විරෝධි ලේකම් කාර්යාලයට ජනා. ලේකම් කාර්. වැය ශීර්ෂයෙන් මුදල් ගෙවා නැහැ; හිටපු ජනපති

ඔක් 19, 2020

    දූෂණ විරෝධි ලේකම් කාර්‍යාලය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ කිසිදු ආකාරයකින් මුදල් ගෙවා නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කලා.

    ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්.

    රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කළ පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පළමු වරට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

    මිග් යානා ගනුදෙනුවේදී මූල්‍ය වංචාවක් සිදු කර ඇති බව පවසමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනු කිරීම දේශපාලනිකව පළි ගැනීමේ චේතනාවෙන් සිදු කර ඇති බවට උදයංග වීරතුංග මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

    සාක්ෂි විමසීම ආරම්භ කරමින් පැමිණිල්ලේ නීතිඥයා ප්‍රශ්න කළේ දූෂණ විරෝධී කමිටුවක් පත් කළ බව මතකද යනුවෙන්.

    ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා, "දූෂණ විරෝධී ලේකම් කාර්යාලය තිබුණේ අරලියගහ මන්දිරේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එයට මගේ හෝ මගේ නිලධාරීන්ගේ සම්බන්ධයක් නෑ" යනුවෙන් ප්‍රකාශ කළා.

    නීතිඥවරයා - මූල්‍ය අපරාධ කොට්ඨාශ ගැන දැනුවත්ද?

    "මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ගැන දැනුවත්. එය අයත්ව තිබුණේ නීතිය හා සාමය අමාත්‍යාංශයට. නීතිය හා සාමය අමාත්‍යාංශය 2018 ඒ දී මගේ අතට ආවා. ඉන්පසු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගැන එතරම් උනන්දුවක් තිබුණේ නැහැ. එය නවතින තැනකයි තිබුනේ. අපි ද්විපාර්ශවික ආණ්ඩුවක්. අනිත් පැත්තේ නායකයා විදිහට කටයුතු කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා. ජනාධිපතිවරයා විදිහට අනිත් ආණ්ඩුවේ ඇමතිවරු ගේ කටයුතු ගැන මගේ අත ගැසීමක් සිදු වුණේ නැහැ"

    නීතිඥවරයා - මූල්‍ය අපරාධ කොට්ඨාශය කටයුතු නතර වුණේ ඇයි?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - නොයෙක් මහජන විවේචන ආවා. ආණ්ඩුව ඇතුළෙන්ම විවේචන එල්ල වුණා. මගේ අතිනුත් විවේචන සිදු වුණා. ඒ නිසා තමයි නතර වුණේ. එතනත් දූෂණ වංචා සිදුවෙලා තියන බවටත් දේශපාලන පලිගැනීම් සිදුවන බවටත් ජනතාවගෙ පැත්තෙන්ම පැමිණිලි ආවා. ඒ නිසා අවසාන කාලය වන විට එය අකර්මණ්‍ය වුණා කියලා තමයි මට හිතෙන්නේ. එක් සීඅයිඩියට මගේ කිසිදු සම්බන්ධයක් තිබුණේ නෑ අනිත් පාර්ශවයේ නීතිය හා සාමය අමාත්‍යවරුන් අතින් තමයි ඒ කටයුතු සිදු වුණේ.

    නීතිඥවරයා: විවේචන එල්ල වුණේ දූෂණ මර්දන කමිටුවේ ක්‍රියාවලිය ගැනද පුද්ගලයින් ගැන ද?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - මම හිතන්නේ ස්වාමීනී, ඒ දෙපැත්තම ගැන තමයි මහජනතාවගෙන් පැමිණිලි ආවෙ.

    සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න - මූල්‍ය අපරාධ කොට්ඨාශය නීත්‍යානුකූලව පිහිටවනු ලැබූ එකක් නෙවෙයි කියලත් මතයක් තිබුණා නේද?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - එවැනි නීති තර්ක ඇති වුණා දෙපක්ෂයෙන් විතරක් නෙවෙයි ආණ්ඩුවේම ඇමතිවරුන් අතරත්. මගේ මතකය හැටියට විජයදාස රාජපක්ෂ මැතිතුමා වැනි අයගෙනුත් එවැනි තර්ක ඇති වුණා. ඒ නිසා ඉබේටම ඒක අභාවයට ගියා කියලයි මට මතක.

    නීතිඥවරයා - දූෂණ මර්දන කමිටු කාර්යාලයටත් ඒ විදිහෙ චෝදනා එල්ල වුණා කියලා ඔබට මතකද?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - චෝදනා එල්ල වුණා. එෆ්.සී.අයි.ඩී. එක ගැන ඇත්තටම පුද්ගලිකව මගෙත් එතරම් පැහැදීමක් තිබුණෙ නැහැ.

    විනිසුරු චන්ද්‍රා ජයතිලක: ඔබතුමා දැනගෙන හිටියද දූෂණ විරෝධී කමිටුව නැත්නම් දූෂණ විරෝධී ලේකම් කාර්යාලය ආරම්භ කළේ ඔබතුමාගේ මුදල් පික් පොකට් ගහලා කියලා?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - ජනාධිපති කාර්යාලයෙන් දූෂණ විරෝධී කමිටුවට සල්ලි වියදම් වෙලා නැහැ.

    පැමිණිල්ලේ නීතීඥවරයා - දූෂණ විරෝධී කමිටුවට අනුබද්ධ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කියලා ඔබතුමා දැනුවත්ද?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - නැහැ, මම දන්න විදිහට කොහෙත්ම නැහැ මේවා ඔක්කොම තිබුනේ ද්විපාර්ශික ආණ්ඩුවේ අනිත් පාර්ශ්වයේ. මුදල් අමාත්‍යංශයත් ඒ පැත්තෙ ආර්ථික කටයුතු අමාත්‍යංශයත් ඒ පැත්තේ. ඒක නිසා ඒ ගොල්ලම තමයි ඒ පැත්තෙන් මම දන්න විදිහට මුදල් වෙන් කර ගත්තෙ.

    හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් දූෂණ විරෝධී ලේකම් කාර්යාලයක් පිහිටුවීම සඳහා 2015.01.21 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල සංදේශය සම්බන්ධයෙන් කොමිසමි සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා.

    සභාපති විනිසුරුවරයා විමසා සිටියේ එම වර්ෂයේම පෙබරවාරි මාසයේදී දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පිහිටුවීමටත් ඒ සදහා වේතන සහ මුදල් ප්‍රතිපාදන වශයෙන් රුපියල් මිලියන 7.5 ක මුදලක් ජනාධිපති වැය ශීර්ෂයෙන් ලබා ගත් බවට ඔබ දැනුවත්ද යන්නයි.

    "මගේ කිසිම දැනුවත් භාවයක් නැහැ සභාපතිතුමනි " මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිතුරු දුන්නා.

    සභාපති විනිසුරු - දූෂණ විරෝධී කමිටුව සහ ජාතික විධායක සභාව ඔබතුමාගේ එකගත්වය ඇතිව ඔබතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට කලින් පිහිට වූ බව රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත් ද ?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - මාගේ මැතිවරණ ව්‍යාපාරයට කලින් එහෙම එකක් පිහිටුවීම පිළිබඳ මා දැනුවත් නැහැ ස්වාමීනි.

    කොමිසම යළි විමසා සිටියේ දූෂණ මර්දන කාර්යාලය පවත්වාගෙන යාම සඳහා මුදල් ප්‍රතිපාදන ජනාධිපති කාර්යාලය වැය ශීර්ෂය යටතේ ලබාදී ඇත්ද යන්නයි.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - නෑ නෑ කොහෙත්ම නැහැ. අපි ද්වි පාර්ශික ආණ්ඩුවක්. ඔය ඔක්කොම තිබ්බේ ඒ පැත්තෙ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය තිබ්බෙත් ඒ පැත්තේ. මම දන්න විදියට ඒ ගොල්ලො තමයි ඔය ඔක්කොම මුදල් වෙන් කර ගත්තේ. "හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.

    කොමිසමේ සභාපති විනිසුරු - රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් කමිටුවක් සහ විජේදාස රාජපක්ෂගේ අනු කමිටුවක් යටතේ දූෂණ මර්දන කමිටුව තවත් අනු කමිටු කිහිපයකට බෙදා නිලධාරීන් 44 දෙනකු යටතේ සේවය කරන තත්ත්වයක් උදා කර ඇති බව ඔබ දැනුවත් ද?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - ස්වාමීනි, ඔය ඔක්කොම රැස්වුණේ අරලියගහ මන්දිරයේ. මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒවායේ සිදුවුන කටයුතු මම දැනගෙන සිටියේ නැහැ.

    සභාපති විනිසුරු - එම කමිටුවලින් අපරාධ විමර්ශන සිදුකිරීම සම්බන්ධයෙන් සහ එම විමර්ශනය ඉදිරියට යා යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් එෆ්.සී.අයි.ඩී යෙන් සහ සී.අයි.ඩී යෙන් උපදෙස් ලබා ගැනීමට පෙළඹීම සම්බන්ධයෙන් ඔබ දැනුවත් දැයි.

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන - මම ඊට කිසිම මැදිහත් වීමක් නැහැ. මට මතක හැටියට 2018 විතර දූෂණ විරෝධී කාර්යාලයේ කාලය දීර්ඝ කරන්න නැවත කැබිනට් පත්‍රිකාවක් ආවා. ඒ වෙලාවේ මම ජනාධිපතිවරයා විදිහට ඊට විරුද්ධ වුණා. මම කිව්වා දැන් වත් ඕක නවත්තන්න. දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ කටයුතු ගැන මට එච්චර පැහැදීමක් නැහැ. ඔය ඔක්කොම කළේ අරලියගහ මන්දිරයේ. මගේ ලේකම් කාර්යාලයේ කිසිම නිලධාරියෙක් හෝ පෞද්ගලික නිලධාරියෙක් මේ දේවල්වලට සම්බන්ධ නැහැ .

    මේ අතර ජනාධිපති කොමිසමට ලැබුණු පැමිණිලි කිහිපයකට අදාළව සාක්ෂි විමසීම් අවස්ථාවලදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සන විවිධ ලිපි ලේඛනවලදී වෙනස් වී තිබීම සම්බන්ධයෙන්ද කොමිසම හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවා.

    එහිදී 2016.10.03 වන දින මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලට ඉදිරිපත් කළ සංදේශයක් කොමිසමේ සභාපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - මේක මම ඉදිරිපත් කළ සන්දේශයක් ස්වාමිනි. මේක මගේ අත්සන තමයි. සමහර දවස් තියෙනවා ලියුම් කොච්චර අත්සන් කරනවද කියලා මතක නෑ. අත්සන සමහර වෙලාවට කිසියම් වෙනස්කමක් වෙන්න පුළුවන්. මේක නං මං අත්සන් කරපු එකක් තමයි

    මේ අතර උදයංග වීරතුංග මහතා සමඟ රාජකාරි මට්ටමෙන් සම්බන්ධයක් තිබුණා දැයි පැමිණිල්ලේ නීතීඥවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

    නීතිඥවරයා : සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටියදී ඔබතුමා රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත වුණා ද?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - සෞඛ්‍ය ඇමතිවරයා කාලේ රුසියාවේ සංචාරයක නිරත වුණේ නැහැ මට මතක විදිහට.. මම රුසියාවේ සංචාරයක යෙදුණේ ජනාධිපතිව සිටී කාලේ කියලයි මට මතක. මට හරියටම මතක නැහැ... සෞඛ්‍ය ඇමති කාලෙ ගියාද නැද්ද කියලා.

    නීතිඥවරයා - 2010-2015 අතර කාලයේදී උදයංග වීරතුංග මහතා රුසියාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කරද්දී ඔබතුමා අපේ තානාපති කාර්යාලයට ගිය බව මතකද?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - ම්ම්ම්ම්...... ඇත්තටම විදේශ සංචාර ගැන මට මතකයක් නැහැ. සමහරවිට යන්නත් ඇති. හරියට මතකයක් නැහැ.

    නීතිඥවරයා - පැමිණිලිකරුගේ පවුලේ උදවිය හමුවෙලා තියෙනවා කියලා මතකද?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - සමහරවිට හමුවෙලා ඇති.

    නීතිඥවරයා - 2011 වර්ෂයේ දී ඔබතුමා රුසියාවේ මොස්කව් නුවර එක්සත් ජාතීන්ගේ වාර්ෂික සම්මේලනයට සහභාගි වුණ බව මතකද?

    නීතිඥවරයා : ඒ අවස්ථාවේදී ඔහු රුසියානු තානාපති කාර්යාලය මගින් ඔබතුමා පිළිගත් බවත් සංග්‍රහ කළ බවත් මතකද?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - ඔව්. ආ... මතකයි. ආ දැන් මතක් වෙනවා.

    නීතිඥවරයා - ඒ අවස්ථාවේදී රුසියාවේ තානාපතිවරයා වශයෙන් සිටියේ කවුද හිටපු ජනාධිපතිතුමනි?

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන - මං හිතන්නේ උදයංග වීරතුංග මහත්මයා වෙන්න ඕන හිටියේ.

    නීතිඥවරයා - ඔබතුමා පිළිගැනීම උත්සවයක් සහ සංග්‍රහයක් තිබුණා නේද?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - ඔව්... තිබුන, තිබුණා.

    Latest News