ශ්‍රීලනිපයේ අපේක්ෂාව, මීලඟ ජනපති මෛත්‍රීපාල සිරිසේන

ජන 11, 2019

    ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිපය අපේක්ෂා කරන බව උතුරු මැද පලාත් නව ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පවසයි.

    ඊයේ (10) දින පස්වරුවේ අනුරාධපුර, පලාගල, බුදුගේහින්න පාසලට නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

    පළමුව මහ මැතිවරණයක්ද ජනාධිපතිවරණයක් ද පළාත් පාලන මැතිවරණයක් ද යන්න නිශ්චිතව කිව නොහැකි බවත් මහමැතිවරණයට ව්‍යවස්ථාවෙන් නිශ්චිත කාල රාමු වෙන් කොට තිබෙන බවත් ජනාධිපතිවරණය 2020 ජනවාරි 8වෙනිදාට පෙර පැවැත්විය යුතු බවත් ප්‍රකාශ කළේය.

    පළාත් සභා මැතිවරණයක් නම් පාර්ලිමේන්තුවේ පිරිස එක්ව මැතිවරණය පැවැත්වීමට දින වෙන් කොට පැවැත්විය හැකි බව හෙතෙම තවදුරටත් අවධාරණය කළේය.

    පාර්ලිමේන්තු මැතිවරණය 2020 දී අනිවාර්යයෙන් පැවැත්විය යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේය. 2020 මාර්තු හෝ අප්‍රේල් මස වන විට බොහෝ දුරට පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමේ ඉඩකඩ පවතින බවත් ඒ සඳහා මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින බව ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලට බියක් දක්වන බවත් කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය නොබියව අනෙක් ඡන්දවල ගැන කතා නොකර ජනාධිපතිවරණය පිළිබඳව පමණක් කතා කරන බව ද සරත් ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

    එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රබල හබයක් පවතින බව මුළු මහත් රටම දන්නා බවත් එක්සත් ජාතික පක්ෂයට අර්බුදය ජයගෙන මැතිවරණයකට යා නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.

    Last modified on සිකුරාදා, 11 ජනවාරි 2019 12:00

    Latest News