යක්කල, වැරැල්ලවත්ත නව මහල් නිවාස ව්‍යාපෘතියෙන් තරුණ ප්‍රජාවට ප්‍රමුඛත්වය

සැප් 20, 2020

    යක්කල වැරැල්ලවත්ත ප්‍රදේශයේ නව, මහල් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.

    ලබන මස 05 දාට යෙදෙන ලෝක ජනාවාස දින එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතයි. ඒ පිළිබඳ සාකච්ජාවක් අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්විණ.

    මහල් 10කින් යුත් ව්‍යාපෘතිය නිවාස 500කින් සමන්විතයි. නිවාස ලබාදීමේදී තරුණ ප්‍රජාවට ප්‍රමුඛත්වය හිමිවේ. මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ, නිවාස අමාත්‍යාංශය, තරුණ කටයුතු හා නිවාස අමාත්‍යාංශය සහ ගම්පහ මහ නගර සභාව එක්වයි. ඉදිකිරීම්වලට අදාළව පැන නැගෙන ගැටලු හා ඊට විසඳුම් ලබාදීම සඳහා සාකච්ජාව පැවැත්විණ. නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ යෝජනාවකට අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

    වසර 30ක දීර්ඝ කාලීන ගෙවීමේ පදනම මත 6.25%ක පොලී අනුපාතයට නිවාස ලබාදීමට නියමිතයි. වත්මන් රජයේ සපිරි මහල් නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවන පළමු නිවාස සංකීර්ණය මෙයයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු පිරිසක් සාකච්ජාවට එක්වූහ.

    Latest News