ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියේ සමාරම්භය අදයි (වීඩියෝ)

සැප් 19, 2020
  • අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියේ සමාරම්භක උත්සවය අද (19) ගල්කිස්ස වෙරළ තීරයේ දී පැවැත්විණ.  ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    “නිකසල සයුරක්, පිරිසිදු වෙරළක්“ තේමාව යටතේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන දිවයින තුළ අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා වැඩසටහන ආරම්භ කෙරිණ. 

    උත්සවය සංවිධාන කළේ, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියයි. 

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඊට අනුග්‍රහය දක්වයි. 

    මෙරට වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් මාලාවක් සතිය පුරා සංවිධාන කර තිබේ. 

    ඒ යටතේ තෝරාගනු ලැබූ වෙරළ තීර 70ක පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මකයි.

    ජගත් සාගර දිනයට සමගාමීව පැවති පෝස්ටර් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහක සිසු - සිසුවියන් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ත්‍යාග හා සහතික ප්‍රදානය කෙරිණ. 

    සමුද්‍ර පරිසර සංරක්‍ෂණය සඳහා කැපවූ ආයතන ඇගයීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට සමරු තිළිණයක් පිරිනමනු ලැබීය.

    නිකලස සයුරක්, පිරිසිදු වෙරළක් සමරු ග්‍රන්ථය සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය මහින්ද රාජපක්‍ෂ මහතාට පිළිගන්වනු ලැබුවාය.

    මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්දා යන අමාත්‍යවරු ද සරත් වීරසේකර, නාලක ගොඩහේවා යන රාජ්‍ය අමාත්‍යවරු ද, ත්‍රිවිධ හමුදාපතිවරු සහ රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් ද මේ අවස්ථාවට එක්වූහ.  

    Last modified on සෙනසුරාදා, 19 සැප්තැම්බර් 2020 19:57

    Latest News