කම්කරුවන්ට 1000 දෙන්න හාම්පුතුන් සූදානම්

ජන 10, 2019

    වතුකම්කරුවන්ගේ දිනක රුපියල් 1000ක වැටුප් ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී එකඟතාවකට පැමිණෙන බව වතු හාම්පුතුන්ගේ සංගමය විසින් වැවිලි කාර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාට දැනුම් දී තිබේ.


    වතුකම්කරුවන්ගේ රුපියල් 1000 දිනක වැටුප් වැඩි කිරිමේ ඉල්ලීම සම්බන්ධ‍යෙන් අද (10) දා පෙරවරුවේදී කම්කරු දෙපාර්තමේන්තුවේදී වතු සේවක සංගම් නියෝජිතයින් සහ අමාත්‍යවරු අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

    වතු සේවකයින් රුපියල් දාහක වැටුපක් මෙතෙක් ඉල්ලා සිටියද, වතු හාම්පුතුන්ගේ සංගමය කියා සිටියේ දෛනික වැටුප රුපියල් 940 ක් දක්වා වැඩි කළ හැකි බවයි. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සහ කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ ස්ථාවරය වුයේ වතු සමාගම ලබන ලාභය අනුව රුපියල් දාහක මුදලක් ලබා දිය හැකි බවයි. ඒ අනුව වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ අදහස් හුවමාරුවක් සිදුවී තිබේ. ඒම අවස්ථාවේදී වතු සමාගම් ප්‍රධානීන් මේ පිළිබඳව සාකච්ඡා කර ඉදිරියේදී එකඟතාවයකට පැමිණීමට කටයුතු කරන බව දැනුම් දී තිබේ.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමයේ මහ ලේකම් ආරුමුගම් තොණ්ඩමන් මහතා අතුලු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 17:01

    Latest News