2020 රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය (වීඩියෝ)

සැප් 12, 2020
  • “2020 රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය” නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ පැවැත්විණ.

    එහිදී, කෙටි සහ දිගු නාට්‍ය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම නාට්‍ය නිර්මාණය, හොඳම නළුවා සහ නිළිය ඇතුළු කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන පිරිනැමිණ.

    රාජ්‍ය නාට්‍ය උළෙලේ සිංහල දිගු නාට්‍ය සඳහා හොඳම අධ්‍යක්‍ෂණය ලෙස සම්මානයට පාත්‍ර වූයේ “අතරමැදියා” නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ නිලංක ධර්මදාසයි. හොඳම නාට්‍ය නිර්මාණය ලෙස ද මෙය තේරී පත්විය.

    හොඳම කෙටි නාට්‍ය අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය මෙවර හිමිකර ගත්තේ, “පොත්ගුල” නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ සුරේශ් මධුෂාන්. හොඳම සිංහල කෙටි නාට්‍ය නිෂ්පාදනය වෙනුවෙන් වූ සම්මානය ද එම නාට්‍යයට හිමිවිය. මෙහිදී, සිංහල කෙටි නාට්‍ය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම සම්මානය හිමිකර ගත්තේ, “පොත්ගුල” නාට්‍යයේ, සේල්වාගේ චරිතය නිරූපණය කළ ඩී.බී. වන්නිනායක සහ එම නාට්‍යයේම භූමිගේ චරිතය නිරූපනය කළ උදාර රාජරත්නයි. එම කාණ්ඩයේ හොඳම නිළියට හිමි සම සම්මානය දිනාගත්තේ, “ෆීමේල්” නාට්‍යයේ ෆාතිමාගේ චරිතය නිරූපණය කළ ඒ.එච්. බුද්ධිමා අබේසිංහ සහ එම නාට්‍යයේම තිලාගේ චරිතය නිරූපණය කළ තිලංකා වික්‍රමසිංහයි.

    සිංහල දිගු නාට්‍යය අංශයේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ, “මඟුල් කපුවා” නාට්‍යයේ මාරියෝගේ චරිතය නිරූපණය කළ තිලාන් වර්ණජිත්.

    එම කාණ්ඩයේ හොඳම නිළිය ලෙස තේරී පත්වූයේ “අතරමැදියා” නාට්‍යයේ අමන්දිගේ චරිතය නිරූපණය කළ සිළිඳු රන්වලයි.

    හොඳම සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙන් වූ සිංහල කෙටි නාට්‍ය අංශයෙහි සම්මානය දිනාගත්තේ, “බෝම්බයක් ගැහුවට කමන් කෑ සිංදු කියමු” නාට්‍යයේ හේෂාන් කුරුප්පුයි.

    ප්‍රබෝධ බුද්ධිප්‍රිය “මඟුල් කපුවා” දිගු නාට්‍යය සඳහා සංගීතය නිර්මාණය වෙනුවෙන් සම්මානය ලබාගත්තේය.

    ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා අමිල මෙහෙවරක් ඉටු කළ සිංහල දෙමළ ජ්‍යෙෂ්ඨ නාට්‍ය වේදීන් සිව් දෙනෙකු සඳහා නාට්‍ය කීර්ති සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණ. ඒ නිශ්ශංක දිද්දෙණිය, අනුලා බුලත්සිංහල හා බුද්ධදාස ගලප්පත්ති යන ප්‍රවීණ නාට්‍යවේදීන් සහ මරිය ෂේපියර් පියතුමාටයි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතායි.

    Last modified on සෙනසුරාදා, 12 සැප්තැම්බර් 2020 20:11

    Latest News