ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න‍; අගමැති

සැප් 09, 2020

    ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට අද (09) උපදෙස් දුන්නේය.

    ඒ, මුදල් අමාතයාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී. අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ, ණය ගෙවා ගැනීමට අපහසු හා අලුතින් ණය ලබාගැනීමට පැමිණෙන ජනතාව බැංකු තුළදී අනවශ්‍ය ලෙස අපහසුතාවන්ට ලක්වීම වළක්වා ගැනීමට වගබලා ගන්නා ලෙසයි.

    ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ දත්ත පරීක්‍ෂා කිරීමේ කාර්ය ආශ්‍රිතව ජනතාවට සිදුවන අපහසුතා පිලිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේය.

    ණය නොගෙවූ පුද්ගලයෙකුගේ ඇපකරුවෙක් වූ පමණින් ණය තොරතුරු කාර්යාංශයේ නම ඇතුලත්වීම නිසා ණයක් ලබාගැනීමට එම පුද්ගලයා නුසුදුස්සෙකු කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සුදුසු සහන ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස, අග්‍රාමාත්‍යවරයා බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

    රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ, පැවති රජය සමෘද්ධි ලබාදීමේ දී සිය පාක්‍ෂිකයන් විශේෂිත කොට සළකා එය පිරිනමා ඇති බවයි. ඒ පිළිබඳ සොයා බලා දේශපාලන භේදයකින් තොරව අඩු ආදායම්ලාභී සියළු පවුල් වෙත සමෘද්ධි ලබාදීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් ලබාදුන්නේය.

    Latest News