එක්සත් ජනපදයෙන් ස්වසන ආධාරක යන්ත්‍ර 200 ක පරිත්‍යාගයක්

සැප් 02, 2020

    ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට නවීනතම ජංගම ස්වසන ආධාරක යන්ත්‍ර (Portable ventilators) 200 ක් පරිත්‍යාග කිරීමේ උත්සව අවස්ථාව අද දින (02) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් (Ms.AlainaTeplits) මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

    එක්සත් ජනපදයේ නවීන තාක්ෂණයට අනුව නිෂ්පාදිත මෙම උපකරණ කොවිඩ්-19 වෛරසයෙන් පීඩාවට පත් රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා පහසුවෙන් යෙදවිය හැක. එක්සත් ජනපද රජය 1956 සිට ශ්‍රී ලංකාවට සංවර්ධන හා මානුෂීය ආධාර සපයනු ලබයි. පසුගිය වසර 20 තුළ එක්සත් ජනපදය ඩොලර් මිලියන 26 කට වැඩි සෞඛ්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. ඩොලර් මිලියන 5.8 කට වැඩි මුදලක මෙම පරිත්‍යාගය සමඟ අනුපූරක පුහුණුව හා නඩත්තු සහාය ලබා දෙනු ලබයි.

    මෙම අති නවීන ජංගම ස්වසන ආධාරක යන්ත්‍ර ශ්‍රී ලංකාවට ලබාදීමට ලැබීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය...

    “ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර අදට දින 216 ක් වනවා. COVID-19 වෛරසය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වාර්තාවීමත් සමග, රට තුළ වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සහ ප්‍රජා සම්ප්‍රේෂණය වැළැක්වීමට අප රටේ දේශපාලන කැපවීම විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නායකත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බුද්ධි අංශ සහ ඊට සම්බන්ධ අනෙකුත් විෂයයන් එකට ගෙන ජාතික කාර්ය සාධක බලකාය පිහිටුවීමට කටයුතු කළා. ඔවුන්ගේ මූලික කාර්යය වූයේ වසංගතය පාලනය හා මැඩපැවැත්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව රජයට උපදෙස් ලබා දීමයි. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා අනෙකුත් අංශවල ප්‍රධාන නිලධාරීන්ගෙන් සමන්විත ජාතික ක්‍රියාකාරී කමිටුවක් ද පත් කළා.”

    “ශ්‍රී ලංකාවේ COVID-19 සඳහා වූ උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම මත පදනම්ව, USAIDS ඇතුළු විවිධ සංවර්ධන හවුල්කරුවන්ගෙන් ලැබුණු සහයෝගය අගය කළ යුතුයි.”

    “COVID-19 ආසාදනයේ ප්‍රකට සංකූලතාවක් වන නියුමෝනියාවෙන් පෙළෙන රෝගීන්ට සිදු කරනු ලබන ප්‍රතිකාර සේවාවන්වල දී ජංගම ස්වසන ආධාරක යන්ත්‍ර අත්‍යවශ්‍ය වන අතර, ඒ අනුව මෙම උපකරණ 200 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරමින් මෙම අවස්ථාවේ දී සහයෝගය ලබාදීම පිළිබඳව එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සියට (USAIDS) සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මියට මෙරට රජය වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් මාගේ අවංක කෘතඥතාව ප්‍රකාශ කරන්න කැමැතියි. කොවිඩ් ආසාදිතයින්ගේ ජිවිත බේරා ගැනීමට මහෝපකාරී වන මෙම ජංගම ස්වසන ආධාරක යන්ත්‍ර දිවයිනේ ද්විතීයික හා තෘතීයික මට්ටමේ රෝහල් අතර බෙදා හැරීමට කටයුතු කරනවා. මෙම පරිත්‍යාගය මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා අප දරන උත්සාහයට සහයෝගය දීමක් වන අතර, එමගින් සෞඛ්‍ය සේවාවන් තවත් ඉහළ නැංවීමට හැකි වනු ඇති බව ද ප්‍රකාශ කරන්න කැමැතියි.”

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොලොම්බගේ මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය එස්.එච් සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    Latest News