විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට ස්ථිර ගොඩනැගිල්ලක්

අගෝ 31, 2020

    විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් යුත් ස්ථිර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබාදෙන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ඊට අදාළ කටයුතු දැනට පවත්වාගෙන යනු ලබන්නේ අඩු පහසුකම් ස්ථානයක සිටයි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කටයුතු සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද එම අමාත්‍යාංශයට පැමිණියේය.

    එහිදී අමාතයාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේ, විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට කාර්යාල පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැති බවයි.

    කරුණු සළකා බැලූ අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේදීම නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින් ගැටලුවට පිළියම් ලබා දුන්නේය.

    මෙම හමුවේදී ජෝන් ද සිල්වා සමරු රඟහල හා කලාභවන ප්‍රතිසංස්කරණය පිළිබඳව ද අවධානය යොමු කෙරිණ.

    රුපියල් මිලියන 1600ක වියදමින් පිළිසකර කෙරෙන ජොන් ද සිල්වා සමරු රඟහලේ දෙවැනි අදියරේ පිළිසකර කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සම්බන්ධ කර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංවිධාන කරන 2020-ජාතික කලා මහෝත්සවය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණ.

    ලබන නොවැම්බර් මස හලාවත ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ජාතික කලා මහෝත්සවය පැවැත්වෙන අතර, දේශනේතෘ සම්මාන ප්‍රදානය සහ දිස්ත්‍රික් කලාකරු සම්මාන ප්‍රදානය පිළිබඳව අමාත්‍යාංශ නිලධාරින් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

    මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දුන්නේ මෙවර එක් දිස්ත්‍රික්කයකට සීමාවන මෙම කලාකරු සම්මාන ප්‍රදානය මීළඟ වතාවේ සිට රට පුරා සෑම දිස්ත්‍රික්කයකම පවත්වන ලෙසයි.

    දිවයින පුරා අලුතින් ගොඩනඟන ලද සංස්කෘතික මධ්‍යස්ථාන 19ක් ඉදිරි මාස 03ක කාලය තුළ විවෘත කරන ලෙස ද, ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමඟ සාකච්ජා කර ලබාගන්නා ලෙස ද, අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    මේ අවස්ථාවට එක්ව සිටි රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපති ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය මහතා පෙන්වා දුන්නේ, පසුගිය වසර හතර හමාරක කාලය තුළ එම ටෙලි ගම්මානය පවත්වාගෙන යනු ලැබුවේ කිසිදු නඩත්තුවකින් තොරව බවයි.

    සාකච්ජාවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්වූහ.

    Latest News