නව මැනිං වෙළෙඳ සංකීර්ණය නොවැ. 17ට පෙර ජනතා අයිතියට

අගෝ 31, 2020

    පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය නොවැම්බර් 17 වැනිදාට පෙර ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

    මේ දිනවල එහි ඉදිකිරීම් අවසන් කෙරෙමින් පවතී. පිටකොටුව මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට ගෙන යාමට මූලික සැලසුම් සකස් කෙරුණේ, එවක ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් අනුවයි.

    එහෙත්, පසුගිය වසර හතර හමාරක කාලය තුළ මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ විශාල පසුබෑමක් පෙන්නුම් කළ අතර, ඒ හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති ද විශාල වශයෙන් අඩාල විය.

    නව රජය බලයට පත්වීමේන් පසු මේ වනවිට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත්තේ, පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය නොවැම්බර් මස 17 වැනිදාට පෙර ජනතා අයිතියට පත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

    රථවාහන තදබදයට විසඳුමක් ලැබෙන ලෙස මැනිං වෙළෙඳපොළෙහි සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නංවන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.

    මේ යටතේ අක්කර දෙක හමාරකට සීමා වී තිබූ මැනිං වෙළෙඳ පොළ අක්කර 15ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළෙඳ සංකීර්ණයක් බවට පත්වේ. වෙළෙඳසැල් 1,142ක් මීට ඇතුලත්. වාහන විශාල සංඛ්‍යාවක් නැවැත්වීමට හැකි රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු, ආපන ශාලා, අධිශීත ගබඩා ඇතුළු පහසුකම් රැසකින් නව වෙළෙඳ සංකීර්ණය සමන්විතයි.

    පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ සියළුම ඉදිකිරීම් කටයුතු සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් සිදුකරනු ලැබ ඇත්තේ, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ ඉංජිනේරුවන් සහ වාස්තු විද්‍යාඥයන් විසින්.

    ඔවුන් ප්‍රකාශ කරන්නේ, වෙළෙඳ මහතුන්ගේ සහ පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස නව මැනිං වෙළෙඳ සංකීර්ණය සැලසුම් කර ඇති බවයි.

    පිටකොටුව මැනිං වෙළෙඳ පොළ පෑලියගොඩ නව ස්ථානය වෙත රැගෙන යාම පිළිබඳව වෙළෙඳුන් දැඩි ප්‍රසාදය පළ කරයි.

    Latest News