වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිවාචක

අගෝ 26, 2020

    වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා යන මහත්වරු අද කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකූඩුවේ සිට සිය විත්තිවාචක ඉදිරිපත් කළා.

    ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම විත්තිවාචකය ඉදිරිපත් කිරීම සිදුවිය.

    අද දින මුලින්ම විත්තිකූඩුවේ සිට සිය වැඩිදුර විත්තිවාචකය ඉදිරිපත් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා තමාට අභූත චෝදනා එල්ල කරමින් ගොණු කර තිබෙන මෙම නඩුව දේශපාලන කරුණක් මත ඉදිරිපත් කර ඇතැයි චෝදනා කළා.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ආරංචි පැතිර යාමත් සමඟම විමර්ශන කටයුතු පවා අවසන් නොවී තිබියදී නීතිපතිවරයා කඩිමුඩියේ මෙම නඩුව ගොනු කළ බවට චෝදනා කර සිටි නියෝමාල් රංගජීව මහතා මේ තුළින් මෙම නඩුවේ පැමිණිල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විරුද්ධවාදීන්ට සේවය කිරීමට කටයුතු කර ඇතැයි ද චෝදනා කර සිටියා.

    මෙම නඩුවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යොදා ගැනීම සඳහා විරෝධී ලෙස‍ ප්‍රවාදක සාක්ෂි පවා මෙහෙයවීමට පැමිණිල්ල ක්‍රියා කළ බවයි විත්තිකාර නියොමාල් රංගජීව මහතා සිය විත්තිවාචක ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

    සිද්ධිය වූ අවස්ථාවේ තමා වැලිකඩ බන්ධනාගාරය තුළට ගිය බවට පැමිණිල්ල විසින් එල්ල කරන චෝදනාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව කී රංගජීව මහතා කැරැල්ල හටගත් අවස්ථාවේ තමා බන්ධනාගාරය තුළ සිටි බවට සාක්ෂිකරුවන් හතර දෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ එකිනෙකට පරස්පර යැයිද පෙන්වා දුන්නා.

    තමා සම්පූර්ණයෙන්ම නිර්දෝෂී පුද්ගලයෙකු බවත් තමන්ව මෙම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි විත්තිකාර නියෝමාල් රංගජීව මහතා තම දියණිය ඉදිරි ඔක්තෝබර් මස උසස් පෙළ විභාගයට පෙනී සිටින හෙයින් මෙම නඩුවේ තීන්දුව ඉන් අනතුරුව ප්‍රකාශයට පත් කරන ලෙසද ඔහු හැඟීම්බරව අධිකරණයෙන් ආයාචනය කර සිටියා.

    ඉන් අනතුරුව නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාද විත්තිකූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කළා.

    ඔහු සඳහන් කර සිටියේ මෙම නඩුවට පාදක වන කැරැල්ල වැලිකඩ බන්ධනාගාරය තුළ උද්ගත වන අවස්ථාවේ තමා වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරීවරයා වශයෙන් කටයුතු නොකළ බවත් තමා එම අවස්ථාවේ සේවය කළේ මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා වශයෙන් බවයි.

    මෙම කැරැල්ල පිළිබඳව හෝ එය මැඩ පැවැත්වීමේ ක්‍රියාවලිය පිළිබඳව තමන් තුළ කිසිදු පූර්ව දැනුමක් නොතිබූ බව සඳහන් කළ ලමාහේවා මහතා මෙම සිරකරු ඝාතනවලට තමන් කුමන්ත්‍රණය කළ බවට එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවද කියා සිටියා.

    ඉන් අනතුරුව එමිල් රංජන් ළමාහේවා මහතාගේ වැඩිදුර විත්තිවාචක ඉදිරිපත් කිරීම ලබන 31 වන දා තෙක් කල් තැබුණා.

    Latest News