දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙළක්

අගෝ 26, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංවමින් දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බව දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යා සිසිර ජයකොඩි මහතා පැවසීය.

    අද (26) උදෑසන බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදි රෝගීන්ගේ සායන, නේවාසිකාගාර, භෝජනාගාර, ඇතුළු සියලුම අංශ අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

    අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය හමු වූ අමාත්‍යවරයා ආයතනයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව විමසා බැලීය.

    අංශභාගය, ස්නායු රෝග, ආතරයිටිස් වැනි බටහිර වෙදකමින් සුවනොවු බොහෝ නිදන්ගත රෝග සඳහා ප්‍රතිකාර ලෙස ආයුර්වේද ක්‍රමවලට ජනතාව හුරු වී ඇති බවත් ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් දේශීය වෙදකමට ලැබී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජාත්‍යන්තර වශයෙන් මෙම දේශීය වෙදකම සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර විදේශීය වෙළඳපොළ ඉලක්ක කරමින් රෝගාබාධවලට ලක් වූ විදේශිකයන් මෙරටට ගෙන්වා දේශීය වෙදකමින් සුවපත් කරමින් විදේශ විනිමය ඉපයිය හැකි ක්‍රමවේදයක් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ආයුර්වේද රෝහලේ සියලු අඩුපාඩු සම්පුර්ණ කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය. රෝහලට අයත් ප්‍රයෝජනයට නොගෙන වසර ගණනාවක් තිස්සේ අත්හැර දැමූ විශාල ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    කාර්ය මණ්ඩල හිගය හා බෙහෙත් ද්‍රව්‍ය තොගවල විශාල අඩුපාඩු පවතින බවත් මෙම ආයතන වැඩි දියුණු කරමින් ඉදිරියේ දී වඩා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    “හොර වෙදුන් වෙනුවට රටට දැයට සම්පතක් වූ සෘෂිවරු වැනි වෙද පරපුර ආරක්ෂා කළ යුතුයි . පාරම්පරික හෙළ වෙද ශාස්ත්‍රය සුවිසේශී” අමාත්‍යවරයා පැවසීය.

    ඉදිරියේදී හෙළ වෙදකම පෝෂණය කරමින් , පර්යේෂණ ආරම්භ කරන බවද වෙද බෙහෙත් වට්ටෝරු සාම්ප්‍රදායික දැනුම ඊළඟ පරම්පරාවට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවද ඒ මහතා කීය.

    බටහිර වෙදකමින් දේශීය වෙදකම හෑල්ලුවට ලක් වීමට ඉඩ නොදී එය රැකගැනීම සඳහා පාරම්පාරික වෛද්‍ය සංගම් සමග මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔවුන් සංරක්ෂණය කෙරෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය‍වරයා කීය

    අනගාරික ධර්මපාලතුමාගේ උපන්දිනය යෙදෙන එළඹෙන සැප්තැම්බර් මස 17 දින දා ඖෂධ පැළ වගා කර ඖෂධ ගම්මාන බිහිකිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා කීය.

    Latest News