ධූර කාලය අවසන් කළ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් යුද හමුදාධිපති හමුවෙයි

අගෝ 23, 2020

    රාජකාරි කාලසීමාව අවසන්ව නික්ම යන පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Sajjad Ali) 21වනදා යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, කර්නල් සජාඩ් අලී ශ්‍රී ලංකාව තුළ සේවය කළ කාලය තුළ සිය මතකයන් මෙන්ම වසර ගණනාවක් තිස්සේ ත්‍රිවිධ හමුදාව සමඟ පැවති මිත්‍රශීලි සබඳතාවයන් ද යළි ආවර්ජනය කළේය.

    වර්ෂ 2009 මැයි මාසයට පෙර වන්නි ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුම්වල තීරණාත්මක අවස්ථාවන් වලදී පාකිස්තාන හමුදාව ලබාදුන් සහයෝගය පිළිබඳව මෙම සුහද හමුව අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය. යුද්ධ හමුදාධිපතිතුමන් අසල්වාසි රටක් ලෙස ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට අඛණ්ඩ පුහුණු අවස්ථා සහ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් පහසුකම් සැලසීම පිළිබඳව සිය කෘතඥතාවය පළ කළේය. තවද, නික්ම යන පාකිස්තාන ආරක්‍ෂක උපදේශකතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිය සුභාශිංෂනයක් ද පළ කරන ලදී.

    ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට පාකිස්තාන හමුදාවේ උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වූ කර්නල් සජ්ජාඩ් අලි ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 වෛරසය පාලනය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් දැක්වූ කැපවීම සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර ඵලදායී සේවා සබඳතා පවත්වාගෙන යාම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ අනුපමේය මෙහෙවර පිළිබඳව සිය කෘතඥතාවය පළ කළේය. පාකිස්තානයේ සන්නද්ධ හමුදාවේ සාමාජිකයින්ට ශ්‍රී ලංකාවේ විවිධ පුහුණු පාඨමාලා සඳහා නවාතැන් ඇතුළු සියළු පහසුකම් සැපයීම පිළිබඳව නික්ම යන ආරක්‍ෂක උපදේශකතුමන් යුද්ධ හමුදාවට සිය ස්තූතිය පුද කළ අතර පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස රාජකාරි කර සිය ධූරයෙන් නික්ම යාමට දින කිහිපයකට ප්‍රථම මෙම නිල හමුව පැවැත්විණි.

    මෙම සුහද හමුව අවසානයේ නික්ම යන පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය හා අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි.

    Latest News