ලග්ගල ජනපතිගෙන් ජනතා අයිතියට

ජන 08, 2019

    අලුතින් ඉදි කෙරුණු ලග්ගල නගරය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරිණ.

    රජය ඒ සදහා රුපියල් කෝටි 200 කට අධික මුදලක් වැය කර තිබේ. ව්‍යාපෘති ජනතා අයිතියට පත් කෙරෙන්නේ, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව සිව්වැනි වර්ෂ පූර්ණයට සමගාමීවයි. ලග්ගල නව නගරය ඉදිකෙරුණේ මොරගහකන්ද කළු ගඟ යෝධ වාරි ව්‍යාපෘතිය වෙනුවෙන් තම වාසස්ථාන, ඇතුළු ගම්බිම් පරිත්‍යාග කළ ජනතාව වෙනුවෙනි. මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතිය සඳහා ගම්මාන 25ක 3000කට අධික පවුල් සංඛ්‍යාවක් ඉවත් කෙරිණ.

    ඔවුන් සියලුදෙනාම ලග්ගල නව නගරයේ පදිංචි කරනු ලැබීය. ලග්ගල නව නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, රෝහල් සංකීර්ණය, ප්‍රාථමික විද්‍යාලය, ද්විතීක පාසල, අධ්‍යාපන කාර්යාලය, තැපැල් කාර්යාලය, මහජනපොළ, මධ්‍යම ආයුර්වේද බෙහෙත් ශාලාව, ප්‍රධාන බස් නැවතුම්පොළ සහ මහජන ක්‍රීඩාංගණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති 21ක් අද ජනතා අයිතියට පත් කෙරිණ.

    මොරගහකන්ද ජලාශයට සම්බන්ධ අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයයි. කළුගඟ ව්‍යාපෘතිය ද පරාක‍්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් විශාල ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘති ද්විත්වයම එකට ගත් විට පරාක‍්‍රම සමුද්‍රය මෙන් හයගුණයක් විශාල වාරි සංකීර්ණයක් නිර්මාණය වෙයි.

    කළුගඟ ජලාශයේ ධාරිතාව අක්කර අඩි ලක්ෂ දෙකකි. මෙම ජලාශයෙන් ජලය විශාල ප‍්‍රමාණයක් ලබාදෙනු ලබන්නේ ලග්ගල නව නගරයේ ජනතාවට වීම විශේෂත්වයකි. එයින් පරණ හත්තොටඅමුණ ප‍්‍රදේශයේ අක්කර 1500 ක භූමි ප‍්‍රමාණයක් වගා කිරීමට ද කළුගඟේ ජලය උපයෝගි කරගනු ලබයි. එමෙන් ම ගඟ දිගේ ජලය ප‍්‍රමාණයක් පරිසරයට මුදාහැරීමටත්, වනසතුන්ට සහ වෙනත් අවශ්‍යතා සඳහා ජලය ලබාදීමටත් කටයුතු කෙරේ. අනෙක් ජල ප‍්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත ගෙන යනු ලබන්නේ උමං සහ ඇළ මාර්ග භාවිතයෙනි. එම උමඟ සහිත ඇළ මාර්ගය කිලෝමීටර් 09 කි.

    Last modified on අඟහරුවාදා, 08 ජනවාරි 2019 10:21

    Latest News