ගම්පෙරළියට කැබිනට් අනුමැතිය; මිලියන 200 - 300 වෙයි

ජන 06, 2019

    ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන වඩාත් පුළුල්ව යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    මෙතෙක් එක් මැතිවරණ කොට්ඨාසයක සංවර්ධන කටයුතු වෙනුවෙන් ගම්පෙරළිය යටතේ වෙන් කෙරුණු රුපියල් මිලියන 200 වෙනුවට 2019 වසරේ සිට රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන ලබා දීමට තීරණය කර ඇත. මෙම වසර තුළ රුපියල් මිලියන 48,000ක් වෙන් කෙරේ. මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 200 ක් අතුරු සම්මත ගිණුමෙන් වෙන් කෙරුණ අතර ඉතිරි මිලියන 100 මාර්තු මස ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැයෙන් ප්‍රතිපාදනය කෙරේ.

    ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනට අතිරේක ප්‍රතිපාදන ලබාදීම යටතේ ග්‍රාමීය වැව් අමුණු, මාර්ග, පාසල් ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය, සනීපාරක්ෂා පහසුකම් වැඩිදියුණු කිරීම, සති පොළ, හරිත උයන් ඉදිකිරීම, නිවාස සංවර්ධනය, ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය, නිවාසවලට විදුලිය බලය ලබා දීම සහ ඉඩම් ඔප්පු ලබා දීම වඩාත් පුළුල්ව සිදු කෙරෙනු ඇත.
    පසුගිය වසරේ ජූලි මස 03 වැනි දින ලබා දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ක්‍රියාත්මක වෙමින් තිබූ ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන හිටපු මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව පසුගිය නොවැම්බර් මස 13 වැනි දින අත් හිටුවන ලදී.

    ඒ අනුව, එතෙක් ආරම්භ කර තිබූ ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කෙරුණු අතර ගිවිසුම් අත්සන් කර තිබුණ ද වැඩ ආරම්භ කර නොමැති සියලු ව්‍යාපෘති දින 51 රජය කාලය තුළ දී අත්හිටුවන ලදී.

    නව ආණ්ඩුව බලයට පත් වීමත් සමග ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන වඩාත් පුළුල්ව යළි ක්‍රියාවට නැංවීම කෙරෙහි අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිව හිමි විය.

    ගම්පෙරළිය වැඩසටහන සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඍජුවම නිකුත් කරනු ලැබේ. ගම්පෙරළිය වැඩසටහනට පහසුකම් සැපයීම හා එහි අධීක්ෂණය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ලේකම් කාර්යාලයක් ද පිහිටවනු ලැබේ.

    Last modified on ඉරිදා, 06 ජනවාරි 2019 14:20

    Latest News