පළාත් කිහිපයකට හෙට (07) විටින් විට වැසි

අගෝ 06, 2020

    සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ, දකුණ යන පළාත්වල හෙට දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි වර්ෂාපතනයක් අපේක්‍ෂා කරන බව, එම දෙපාර්තමේන්තුව පවසයි.

    උතුර, උතුර මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 50ත් 60ත් අතර අගයක් ගත හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

    කුරුණෑගල මල්ලවපිටිය ප්‍රදේශය හරහා අද අලුයම හමා ගිය සුළඟකින් නිවාස 25කට පමණ හානි සිදුව තිබේ. ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලි පද්ධතිය හා දුරකතන රැහැන් පද්ධතිවලට ද හානි සිදුවිය. අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා ප්‍රදේශයේ ආපදා කළමනාකරණ අංශයේ නිලධාරීන් සහ යුද හමුදාවේ සාමාජිකයින් එක්ව සිටී.

    පාදුක්ක ප්‍රදේශයේ ඇති වූ දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවාස 100කට පමණ හානි සිදුව තිබේ. හොරගල ප්‍රදේශයේ නිවාස 30ක්, බෝපේ ප්‍රදේශයේ නිවාස 20ක්, ගලගෙදර ප්‍රදේශයේ නිවාස 50ක් හානි වූ නිවාසවලට ඇතුළත්.

    අද අලුයම 5.00ට පමණ ඇති වූ වැසි තත්වයත් සමඟ ඇහැළියගොඩ ප්‍රදේශයෙන් හමා ගිය තද සුළං තත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 143කට හානි සිදුව තිබේ. නිවාස 05කට පූර්ණ හානි සිදුව ඇති බව අප වාර්තාකරු පවසයි.

    දැඩි සුළං තත්වය හේතුවෙන් මොරටුව කොරවැල්ල ප්‍රදේශයේ නිවාස 40කට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබේ. රථවාහන කිහිපයකට ද අලාභ හානි සිදුවිය.

    අද අලුයම 2.00ට පමණ ඇති වූ තද සුළං තත්වයක් හේතුවෙන් එප්පාලවල ප්‍රදේශයේ ගම්මාන රැසක නිවාසවලට හානි සිදුව තිබේ. ප්‍රදේශයේ වගා බිම් රැසකට ද හානි සිදුව ඇති බව වාර්තාවේ.

    මධ්‍යම කඳුකරයට ඇඳ හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරිණ. ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වීමේ හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳ ජලාශයට පහලින් සිටින ජනතාවට විමසිල්ලෙන් සිටිය යුතු බව, නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙයි.

    Latest News